ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ අතකොළුව අන්තරය විසින් ආයුර්වේද සිසුන්ට දෙන අමානුෂික නවක වධය ගැන හද කකියවන පාපෝච්චාරණයක්..!

මත්ද්‍රව්‍ය සහිත බීමදීම, කන බත් පතට වැලි දැමීම, කෙළ මිශ්‍ර කෑම දීම, නිරුවතින් තැබීම, නිදාගන්න නොදීම

සිසුවියන්ට මත්ද්‍රව්‍ය මිශ්‍ර බීම බොන්න දීම, කන බත් පතට වැලි දැමීම, ජ්‍යේෂඨ සිසුන්ගේ කෙළ මිශ්‍ර කෑම කන්න දීම, නිරුවතින් තැබීම, නිදා ගන්න නොදීම ආදී අතිශය අමානුෂිත තිරිසන් නවක වධයක් සමාජවාදී කියා ගන්නා ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ අතකොළුවන් වූ අන්තරේ ජ්‍යෙෂ්ඨයන් විසින් ආයුර්වේද වෛද්‍ය නවක සිසුන්ට සිදුකරන බව හෙලිකරමින් සරසවි ආචාර්යවරුනට යැවූ හද කම්පා කරවන ලිපියක් මහජනතාව වෙත මෙසේ ඉදිරිපත් කරමු..  

නවක වධයට අකමැති පළමු වසර නවක සිසුන්,
දේශීය වෛද්‍ය විද්‍යායතනය,
කොළඹ විශ්ව විද්‍යාලය,
රාජගිරිය.
2016.06.09.

ගරු මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මැතිතුමා,
උපකුලපතිතුමා,
කොළඹ විශ්ව විද්‍යාලය.

ගරු උපකුලපතිතුමනි,

2014/2015 නවක කණ්ඩායම සඳහා දේශීය වෛද්‍ය විද්‍යායතනය තුල පැවති අමානුෂික නවක වධය පිළිබඳව දැනුවත් කිරීම සඳහා.

අප 2014/2015 අධ්‍යන වර්ෂය සඳහා 2016 වර්ෂයේදී දේශීය වෛද්‍ය විද්‍යායතනයට ඇතුලත් වූ නවක සිසුන් වන්නෙමු. අපගේ දුක්විදින දුප්පත් දෙමාපියන්ගේ බලාපොරොත්තු මුදුන්පත් කිරීමේ අරමුණින් දහසක් බාධක කම්කටොලු මැද උසස් පෙළ තරඟ විභාගය සමත් වුයේ අතිශය වෙහෙසක් දැරීමෙනි. එමෙන්ම විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීම අපගේ දෙමාපියන්ගේ මෙන්ම අපගේද ජීවිතයේ සිහිනයක් හැබෑ වුවා වැනිය. නමුත් විශ්ව විද්‍යාලය යනු මෙතරම් කටුක, පීඩාකාරී, කායිකව හා මානසිකව වධ වේදනා ලබාදෙන සාහසිකාගාරයක් බව දැනගත් විට අපහට ඇතිවුයේ අපමණ දුකක් හා බලාපොරොත්තු සුන් වීමකි. අප විඳි අමානුෂික නවක වධය ජ්‍යෙෂ්ඨ උත්තමයන් යැයි කියාගන්නා අමානුෂික නවක වධය ක්‍රියාත්මක කරන්නන් හදුන්වන්නේ “නවක නම්‍යකරණය” නමිනි.

අප විද්‍යායතනයට ඇතුළත් වූ දින සිට වර්තමානය දක්වා අප විඳි ඉතා අමානුෂික නවක වධයේ ස්වරූපය පිලිබඳ මදක් විස්තර මෙසේය.

“2016.02.15 වන දින අප නිල වශයෙන් දේශීය වෛද්‍ය විද්‍යායතනයට ඇතුලත් වූයෙමු. එදින ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් නිල නොවන රැස්වීමක් අපගේ දෙමාපියන් වෙත ආපන ශාලාවේදී පැවැත්වුහ. එහිදී ඔවුන් අපගේ දෙමාපියන් වෙත පවසා සිටියේ විශ්ව විද්‍යාල පරිසරය, විශ්ව විද්‍යාල අවට කොළඹ පරිසරය හා කොළඹ ජනයාගේ සමාජ ඇවතුම් පැවතුම් වලට හුරු කිරීමට නවක නම්‍යකරණය නමින් වැඩසටහනක් දේශීය වෛද්‍ය විද්‍යායතන පරිපාලනයේ අනුග්‍රහය හා සම්පුර්ණ අවසරය මත නවක සිසුන් වන අප යොදා ගනිමින් පවත්වන බවයි.

එසේම මෙම නම්‍යකරණය අවසානයේ කලා උළෙලක් පවත්වන බවත් එසේම නවක වධයේ යම් යම් අකටයුතු ක්‍රියා කාලා උළෙලට සුදානම් වීමක් ලෙස පවත්වා ගනු ලබන බවත් ඔවුන්ගේ වචනයෙන්ම ප්‍රකාශ කළහ.

ඊට පසුදින සිට සාමාන්‍ය පරිදි දේශණ පෙ.ව 8.00 ට ආරම්භ කලද අප සියලු දෙනාම පෙ.ව 7.00 වන විට ආපන ශාලාවට පැමිණ තිබීම අනිවාර්යය බව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යවන් අපහට පැවසුහ. මෙලෙස ඊට පසු දින සිටම “නවක නම්‍යකරණය” යනු අකුරු වචන පමණක් වෙනස් වූ “අමානුෂික නවක වධය” ම බව අපහට පසක් කරමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට කායිකව හා මානසිකව වධ වේදනා ගෙන දෙන ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් යැයි ඔවුන් විසින්ම හදුන්වාගනු ලබන පිරිසට සැණකෙළියක් වූ අමානුෂික නවක වධය ආරම්භ විය.

අපගේ කණ්ඩායමේ නවක සිසුවෙකු හෝ සිසුවියක් යම් හෙයකින් පෙ.ව 7.00 පසු වී ආපන ශාලවට පැමිණියහොත් සිදුවන්නේ සියලු දෙනා ඉදිරිපිට ඉතා උස්හඩින් අසභ්‍ය වචනයෙන් බැනුම් ඇසීමට, දඩුවම් විඳීමට හෝ ගුටි කෑමටයි.

දේශීය වෛද්‍ය විද්‍යායතනය තුල ක්‍රියාත්මක වන නවක වධයේ ස්වභාවය කෙටියෙන්.

භෝජනාගාරය තුල නවක වධය,
දවසේ දේශණ පෙ.ව 8.00 ට ආරම්භ වුවද තමන් උදැසන ආහාර ගත්තද නොගත්තද සියලුම නවක සිසු සිසුවියන් පෙ.ව 7.00 ට පළමු වසර දේශණ ශාලාවට යාමට පෙර භෝජනාගාරයට පැමිණිය යුතුමය. ආයතනයේ වෙනත් ස්ථානවල ආහාර ගැනීම  ජ්‍යෙෂ්ඨයන් විසින් තහනම් කර ඇත. එලෙස නොපැමිනෙන්නන් හට විවධ දඬුවම් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලබාදේ
භෝජනාගාරය තුලදී නවක සිසු සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදීම
භෝජනාගාරය තුලදී නවක සිසු සිසුවියන්ට අසභ්‍ය කවි හා කතා පාඩම් කරවීම
අසභ්‍ය කවි කතා පාඩම් නැති නවක සිසු සිසුවියන්ට මනෝ පුටුව, දණ ගැස්වීම හා බිම දිගේ බඩ ගෑමට සැලැස්වීම වැනි දඬුවම් ලබා දීම
භෝජනාගාරය තුලදී උදේ සහ දවල් ආහාරයන්ට විවිධ දෑ මිශ්‍ර කර (උදා :- බත් පතට පැණි බීම වර්ග, වැලි  මිශ්‍ර කිරීම) බලෙන් ආහාරයට ගැනීමට සැලැස්වීම
භෝජනාගාරය තුලදී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ආහාරයට ගෙන ඉවතලන (සූප්පු කරන ලද) ඛේටය මිශ්‍ර වූ ආහාර කොටස් නවක සිසු සිසුවියන් සියලු දෙනාටම මුව තුලට ගෙන එකී නෙකාගේ කටින් කට හුවමාරු කිරීමට සැලැස්වීම (උදා:- මාළු කටු, මුරුංගා පොතු වැනි ඉවතලන ආහාර කොටස්)
ඉහත දෑ කිරීමට අකමැති  වන සිසු සිසුවියන්ට භෝජනාගාරය තුලදීම පහර දීම
ඉහත සඳහන් සිදුවීම් සිදු වන අවස්ථා වලදී පරිපාලනයට සම්බන්ධ කිසිදු ආචාර්යයවරයෙක් සිසුන්ගෙන් කොපමණ පැමිණිලි තිබුනද භෝජනාගාරයට ගොස් සොයා නොබලයි.

දේශණ ශාලාව තුල නවක වධය,
දේශණ සඳහා නවක සිසු සිසුවියන් සහභාගී වීම ප්‍රමාද කරවීම.
ආචාර්යයවරුන් විසින් දේශණ නැවත්වීමට ප්‍රථම නවක සිසුන් දේශණ ශාලා වලින් ඉවතට ගැනීම.
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් නවක සිසු සිසුවියන්ගේ නියෝජිතයාට පණිවිඩයක් එවනු ලබන ඕනෑම අවස්ථාවක නවක සිසු සිසුවියන් දේශණ පැවැත්වෙන මොහොතක වුවද ඉවතට පැමිණිය යුතුයි.
ආචාර්යයවරුන්ගේ දේශණ වලට විවිධ බාධා සිදු කිරීමට නවක සිසුන් පෙලැඹවීම.
ආචාර්යයවරුන් සමඟ පෞද්ගලිකව නවක සිසුන්ට කතා කිරීම තහනම් කිරීම.
ඉංග්‍රීසි භාවිතය සපුරා තහනම් කිරීම
පුස්තකාල හා පරිගණකාගාර භාවිතය තහනම් කිරීම

නේවාසිකාගාර තුල නවක වධය
රාජගිරියේ දේශීය වෛද්‍ය විද්‍යායතනය අසල පදිංචි වී සිටියද සියලුම සිසු සිසුවියන්ට නේවාසිකාගාරයේ ලියාපදිංචියකින් තොරව නේවාසිකව සිටීම අනිවාර්ය වේ. නවක වධය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් විසින් මෙය ක්‍රියාත්මක කරයි.
නේවාසිකාගාර සඳහා රජයේ නියමිත ගාස්තු නොගෙවන ලෙස සිසුන්ට බල කිරීම.
උදැසන 5.00 ට අවදි කර පසුදා උදෑසන 2.00 වන තෙක් නිදාගැනීමට අවසර නොදීම (සියලුම නවක සිසුන්ට නිදා ගැනීමට ලැබෙන්නේ දිනකට පැය 3 ක් පමණි).
දේශණ අවසන් වී පැමිණි පසු සියලු සිසුන් නිර්වස්ත්‍ර කොට විවිධ මානසික, කායික හා ලිංගික හිංසනයන් ලබාදීම.
නින්දට යන තෙක් කිසිදු නවක ශිෂ්‍යයෙකුට ඇඳුම් ඇඳීම සපුරා තහනම් වේ.
සාමාන්‍යයෙන් මාස 6 ක කාලයක් පැවැත්වෙන නවක වධය පුරා සිසු සිසුවියන්ට ඉගෙනීම් වැඩකටයුතු කරගෙන යාමට හා පාඩම් කිරීම තහනම් කිරීම.
නවක සිසුන් මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය සඳහා පුරුදු පුහුණු කිරීම.
කාන්තා නේවාසිකාගාරය තුලදී ද නවක සිසුවියන්ට මත්ද්‍රව්‍ය මිශ්‍රිත විවිධ පාන වර්ග බීමට ලබා දෙයි.

එසේම රෝගී අයෙකු වී නම් ඔවුන්ගේ රෝගී තත්ත්වය වෛද්‍ය වාර්තා මගින් පෙන්වා නවක වධයේදී යම් සහනයක් ආයාචනා කළද ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් යැයි ඔවුන් විසින්ම හඳුන්වාගනු ලබන පිරිස ඒ කිසිදු නවක සිසුවෙකු හෝ සිසුවියක් පිළිබඳව තැකීමක් සිදු  නොකරයි. එමෙන්ම ඔවුන් ඉතා අමානුෂික අන්දමින් අනෙක් සාමාන්‍ය සිසු සිසුවියන්ට මෙන්ම රෝගී සිසු සිසුවියන්ට ද අමානුෂික නවක වධය ලබා දේ. සාමාන්‍යයෙන් නවක වධය හේතු කොට ගෙන අපගේ කණ්ඩායමේ සිසු සිසුවියන් 30 කට අධික පිරිසක් විද්‍යායතන ප්‍රථමාධාර කාමරයේ ප්‍රතිකාර ලබන අතර බොහොමයක් සිසුන්ගේ නිදන් ගත රෝග තත්වයන් උත්සන්න වීම, නිසිලෙස ආහාර නොගැනීම හා අධික මානසික පීඩනය නිසා “ගැස්ට්‍රයිටිස්’ වැනි රෝග, අධික උණ, ක්ලාන්තවීම්, සිහිමුර්ජාවීම් හා හිසරදයන් වැනි විවිධ රෝගී තත්වයන්ට සිසුන් ගොදුරු වී තිබුණි.

එමෙන්ම කණගාටුවට කරුණ හා මේ පිළිබඳව විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ ඉහල නිලධාරීන් දැනුවත් කිරීමට හෝ මෙපමණ කලක් ගත වුයේ පළමු අවස්ථා වලදීම දේශීය වෛද්‍ය විද්‍යාතන පරිපාලනය නවක වධය පිළිබඳව දැනුවත් කළද අධ්‍යක්ෂකතුමිය ප්‍රමුඛ පරිපාලනයට සම්බන්ධ සමහරක් ආචාර්යය වරුන් ඒ පැමිණිලි මත ක්‍රියාත්මක වීම හෝ ඔවුන් හොඳින්ම දන්නා (නොදන්නවා සේ සිටින) නවක වධය නැවත්වීම වෙනුවට නවක වධය පිළිබඳව පැමිණිලි කළ කණ්ඩායමේ සිසු සිසුවියන්ගේ නම්, ගම් හා විස්තර අමානුෂික නවක වධය ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් යැයි ඔවුන් විසින්ම හඳුන්වාගනු ලබන පිරිසට ලබා දීමයි. එම නිසා අපගේ සමහරක් සිසු සිසුවියන්ට පහර කෑමට සිදු විය. මේ හේතුව නිසා අප මේ වන තෙක් සිතා සිටියේ අපගේ විද්‍යායතන පරිපාලනය මෙන්ම සමස්ථ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ නිලධාරීන් සියලුම දෙනා මෙම අමානුෂික නවක වධයට සහයෝගය දක්වන බව හා ඒ පිළිබඳව පැමිණිලි කිරීම තුලින් තව තවත් අමානුෂික ලෙස වධ වේදනා විඳීමට සිදු වන බවත්ය.

දේශීය වෛද්‍ය විද්‍යායතනයේ නවක වධය පළමු වසරින් අවසන් නොවේ. නවක වධයට ලක්වීමට අකමැති වීම නිසා මෙන්ම නවක වධය නවක සිසු සිසුවියන්ට ලබා දීමට අකමැති වීම නිසා නවක වධයට අකමැති අපගේ ජ්‍යෙෂ්ඨ සිසුන් අහිමි කරගත්, සෙසු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විඳින වරප්‍රසාද මෙසේය.

විශ්ව විද්‍යාලය තුල නිදහසේ සැරිසැරීම තහනම් -  (නිදහසේ ගමන් කළ හෙයින් අප හට මැර තර්ජන විදීමට හා පහර කෑමට ලක්වූ අවස්ථා බොහෝය)
ආයතනයේ ආපනශාලාව භාවිතය හෝ එයට ඇතුළු වීම තහනම්
වැසිකිලි භාවිතයේදී ද විවිධ තර්ජනයන්ට මුහුණ පාන්නට සිදු වේ
විශ්ව විද්‍යාලයෙන් පිටතදී පහර කෑම් හා තර්ජණයන්ට මුහුණ පෑමට සිදු වීම
නේවාසිකාගාර වලින් ශිෂ්‍යයින් පහර දී පන්නා දැමීම (අද වන විටත් නවක වධයට අකමැති කිසිදු සිසුවෙකුට නේවාසිකාගාර පහසුකම් නොමැත)

දේශීය වෛද්‍ය විද්‍යායතනය තුල හා නේවාසිකාගාරය තුලදී අපහට නවක වධය ලබාදුන් ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් යැයි ඔවුන් විසින්ම හඳුන්වාගනු ලබන සමහරක් දෙනාගේ නම් ගම් හඳුනා ගැනීමට අපට හැකි විය. අප විසින් හඳුනා ගන්නා ලද ඔවුන්ගේ නම් පහත සඳහන් වේ,

ක්‍රිෂාන් සංඛනාද්
මධුර සුභාෂණ
චාමර යාපා
මියුරු සඳකැලුම්
අසංකා මායාදුන්න
චාමර උදයංග (ගජන්)
ගුණරත්න (හම්බාවා)
ප්‍රබෝද් මිහිරාන්
ඉන්දික කුමාර
සෙව්වන්දි

මෙම ලිපිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක තුමියට යොමු නොකොට ඔබතුමා වෙත සෘජුවම යොමු කරන්නේ,

අධ්‍යක්ෂක තුමිය පිළිබඳව අප තුල කිසිදු විශ්වාසයක් නොමැති නිසා හා අපහට සිදු වූ පහර දීම් පිළිබඳව කල පැමිණිලි පිළිබඳව මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන අපගේ පැමිණිලි යට ගැසීම පමණක් සිදු කරන බැවිනි. එමනිසා අප ආයතනය බාර ප්‍රධානියා මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා වන ඔබතුමා හට අප ආයතනයේ ඕනෑම පරිපාලන නිලධාරියෙකු, අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හා ශිෂ්‍යයෙකු පිළිබඳව විනය පරීක්ෂණ පැවැත්වීමටත්, දඬුවම් පැනවීමටත්, ශිෂ්‍ය භාවය අහෝසි කිරීමටත්, නවක වදය තුරන් කිරීමටත් අවශ්‍ය බලය හා අවශ්‍ය නීතිමය වටපිටාව ඇති බැවින් අප විසින් මුහුණ පානු ලබන කණගාටු දායක තත්වය මෙසේ ඉදිරිපත් කිරීමට තීරණය කළෙමු.

ගරු උපකුලපති තුමණි අපහට අමානුෂික නවක වධය ලබාදුන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙසත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටින අතර, අප ඕනෑම අවස්ථාවක හා ඕනෑම ස්ථානයක (අධිකරණයක, පොලිසියක හා පරීක්ෂණ මණ්ඩලයක් තුල) දේශීය වෛද්‍ය විද්‍යායතනයතුල පවතින නවක වදය පිළිබඳව හා එහි සැබෑ තත්වය රටට හෙළිකිරීමට අවශ්‍ය සාක්ෂි දීමට සුදානම් බවද ඔබතුමාට ගෞරවයෙන් යුතුව දන්වා සිටිමු.

ස්තුතියි!.

මෙයට විශ්වාසී,

භාෂිත ගුණවර්ධන
ශානක සත්සර

පිටපත් :- ආචාර්යය රංගික හල්වතුර මැතිතුමා, සභාපති, විශ්ව විද්‍යාල ආචාර්යයවරුන්ගේ සමිති සම්මේලනය, කර්තෘතුමා, ලංකා ඊ නිව්ස් 


නැවත මෙවැනි ඉතා කණගාටුදායක තත්ත්ව ඇතිවීමට ඉඩ නොතබමින්, අහිංසක ශිෂ්‍ය ජීවිත මරණීය ඛේදවාචකයකින් අවසන් වීමට පෙර, මේ පිලිබඳ කඩිනම් ක්‍රියාත්මක වී දේශීය වෛද්‍ය විද්‍යායතනය තුල නවක වධය තුරන් කර සමස්ත සිසු සිසුවියන්ගේ ආරක්ෂාව තහවුරු කරන මෙන් හා අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට ඔබතුමා හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හැකි අයුරින් මැදිහත් වන මෙන් ඔබ තුමාගෙන් කාරුණිකව හා ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

Posted in:

0 comments for "ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ අතකොළුව අන්තරය විසින් ආයුර්වේද සිසුන්ට දෙන අමානුෂික නවක වධය ගැන හද කකියවන පාපෝච්චාරණයක්..!"

Leave a reply