ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කොස්තාපල්ට උදැල්ලෙන් පහරදුන් හමුදා සෙබළා පොලිස් වෙඩි ප්‍රහාරයකින් රෝහලේ


 නොච්චියාගම රළපනාව ප්‍රදේශයට ගිය නොච්චියාගම පොලිසියේ නිලධාරියකුට හිටපු හමුදා සෙබළකු විසින් පහරදී ජීප් රථයට අලාභහානි කිරීමේ සිද්ධියකදී පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව සඳහා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් හමුදා සෙබළා බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ රළපනාව නොච්චියාගම පදිංචි 29 හැවිරිදි ජේමිස් අරුණ ශාන්ත නමැත්තායි. සැකකරු එල්ල කළ උදලු පහරකින් අතකට බරපතළ තුවාල සිදුවූ පොලිස් කොස්තාපල් විජේතිලක මහතාද, 12 වනදා රාත්‍රියේ ප්‍රතිකාර සඳහා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන්
අනතුරුව 13දා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට මාරුකර ඇත.

12දා රාත්‍රියේ සැකකරුත් ඔහුගේ සහෝදරයාත් සහෝදරියට පහරදෙන බවට ලැබුණු තොරතුරකට අනුව නොච්චියාගම පොලිසියේ මෙහෙයුම් අංශයේ නිලධාරීන් සිවුදෙනකු ඔවුන් පදිංචි ස්ථානයට ගොස් ඇත. එම අවස්ථාවේ එක් සැකකරුවකු නිවෙසේ නිදාගෙන සිට ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පොලිස් නිලධාරීන් සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන ඔවුන්ට පහරදීම සඳහා නිවෙසේ තිබූ කඩුවක් සහ පොරවක් රැගෙන සූදානම් වී ඇති බවත්, ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් නිවෙසින් පිටතට පැමිණ සැකකරු මෙල්ල කර ගැනීම සඳහා සූදානම් වෙද්දී සැකකරු පොලිස් ජීප් රථය නිවෙස ඉදිරිපිට නවතා තිබුන ජීප් රථයට පහරදී අලාභ හානි සිදුකළ බවත් නොච්චියාගම පොලිසිය කියයි.

පොලිස් කොස්තාපල් විජයතිලක මහතාට සැකකරු උදැල්ලෙන් පහරදී ඇත්තේ මේ අවස්ථාවේදීය. සැකකරු මෙල්ල කර ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළත් සැකකරු කලහකාරී ලෙස හැසිරීම නිසා රාජකාරි සඳහා නිකුත් කර තිබූ ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියෙන් පොළොවට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතත් සැකකරු මෙල්ල නොවී තවදුරටත් පහරදීමට පැමිණීම නිසා කොස්තාපල්වරයා ජීවිත ආරක්‍ෂාව තකා ස්වයංක්‍රීය ගිනි අවියෙන් සැකකරුගේ පාදවලට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇත. ප්‍රහාරයෙන් සැකකරු තුවාල ලබා මෙල්ල වීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.

සැකකරු ඔහුගේ දෙවැනි කසාදයේ බිරියගේ දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන්ද දැනට අධිකරණයේ විභාග වන නඩුවක විත්තිකරුවකු බවද පොලිසිය පවසයි.

Posted in:

0 comments for "කොස්තාපල්ට උදැල්ලෙන් පහරදුන් හමුදා සෙබළා පොලිස් වෙඩි ප්‍රහාරයකින් රෝහලේ"

Leave a reply