සිංහල සිනමාවේ චිරස්ථායි පෞරුෂයක්
ලබන 16 වෙනිදාට යෙදෙන විජය කුමාරතුංග 25 වෙනි ගුණ සමරුව නිමිත්තෙනි
මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන් අපෙන් සදහටම සමුගෙන 25 වසරක් සපිරෙන මේ සුවිශේෂ අවස්ථාවේ ආපසු හැරී බලන විට අපට සාක්ෂාත් වන්නේ කුමක්ද? විජය සිංහල සිනමාවේ ප්‍රබල පුරාවෘත්තයක් (ළෙගෙන්ඩ්) බවට - චිරස්ථායි පෞරුෂයක් බවට පත්ව සිටින්නේ යැයි ඊට පිළිතුරු වශයෙන් මට කිවහැකිය.
විජය මෙරට ජනප්‍රිය සිනමාව තුළ සදා දිදුලන මෙගා තරුවකි. ඔහු මෙන් අතිශයින්ම ජනකාන්ත වූ සිනමා නළුවකු තවත් නොමැති තරම් ය. විජය අවමඟුල් උළෙල ආචාර්ය ජයදේව උයන්ගොඩගේ වචනයකින් කිවහොත් ජනයාග කර්මයක් (ඵුබ්ලිc ර්‍ඉටුඅල්) වූයේ ඔහු අනුදුටු දේශපාලනය නිසා නොවේ යැයි කීම ඇතැමුන් අතර විවාදයකට තුඩු දිය හැකි වුවත් සත්‍ය එයයි.
ඔහුගේ මළගමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක් රොක් වුයේත් සමහරෙක් ඔහු වෙනුවෙන් ප්‍රසිද්ධියේම දිවිතොර ගත්තෙත් විජය
නළුවකු වශයෙන් ලබා සිටි අති සුවිශේෂ වූ ජනකාන්ත භාවය නිසාත් පෞද්ගලික වශයෙන් ගත්විට ඔහු ප්‍රකට කළ මානව හිතවාදී ගුණාංග නිසා බවත් යැයි මම සිතමි. (විජයගේ දේශපාලනය ඌන තක්සේරුවකට ලක් කිරීමක් මෙයින් සිදු නොකෙරේ.)
වාණිජ යැයි හංවඩු ගැසුණු චිත්‍රපටවල විජය ඉදිරිපත් කළ රංගනයද අපේ ප්‍රශංසාවට ලක්විය යුත්තකි. ඒ විශේෂයෙන්ම ඔහු තමන්ටම ආවේණික වූ රංග ශෙලියක් ඉදිරිපත් කළ නිසාය. විජය රඟපෑ බොහෝ වාණිජ චිත්‍රපට හින්දි අනුකාරකය. එහෙත් විජය ඒවායෙහි රඟපෑවේ රාජේෂ් ඛන්නා හෝ අමිතාබ් භච්චන් අනුකරණයෙන් සපුරා අත් මිදෙමිනි.
ඔහුට පුනරාගත ප්‍රේක්ෂක පිරිසක් (ර්‍එපේට් ඇඋඩීන්cඒ සිටියහ. ඉන් අදහස් වන්නේ ඔහු රඟපෑ චිත්‍රපට ප්‍රේක්ෂකයන් කීපතාවක් නැරඹූ බවය. සිංහල සිනමාව පෝෂණය කරන ලද්දේ මේ සිනමා ලෝලයන් සමූහය විසිනි.
විජයගේ රංග ලීලාව අතිශයින්ම නැවුම් වූයේය. විචිත්‍රවත් වූයේය. ඒහෙයින්ම ජන ආකර්ෂණ ගුණයෙන් අනූන වූයේය. ගාමිණී සම්භාව්‍ය සිනමාව තුළ ද විජය විහිදුවා ලූ පෞරුෂය දැවැන්තය. විජය දක්ෂ නළුවකු නොවන බවත් ඔහු වඩාත් කුසලතා ප්‍රකට කළේ ගායකයකු වශයෙන් බවත් ඇතමුන් කියනු මම අසා ඇත්තෙමි. එහෙත් එය අගතිගාමී ප්‍රකාශයක් ය යි මම ඉඳුරා කියමි. මගේ චිග්‍රහයට අනුව විජය අති දක්ෂ චරිතාංග නළුවෙකි.
ජය තමා දක්ෂ නළුවකු බව ප්‍රකට කළේ ඔහු රඟපෑ මුල්ම චිත්‍රපටය වූ ‘හන්තානේ කතාවෙන්’ මය. හැටේ දශකයේ සිටි විශ්වවිද්‍යාල තරුණයා (වාසිටි කොල්ලා) මූර්තිමත් කිරීමට එවකට සිංහල සිනමාවේ සිටි කිසිදු නළුවකු සුදුසු වූයේ නැත. ඒ සඳහා නව මුහුණක් - අලුත් නළුවෙක් අවශ්‍ය වූයේ එහෙයිනි. විජය නියෝජනය කළේ ඒ කෙළිලොල් තාරුණ්‍යයි.
‘මෙන්න හැත්තෑව දශකයේ තරුණයා’
විජය සම්බන්ධයෙන් එසේ කීවේ ප්‍රකට ඉංශ්‍රීසි පුවත්පත් කලාවේදියකු වූ ඩෙන්සිල් පීරිස්ය. මේ යථාර්ථය හඳුනා ගැනීමේ තියුණු ඉවක් ඩෙන්සිල් පීරිස් ට තිබිණි.
ගැමි හෝ නාගරික හෝ අර්ධ නාගරික නන්නත්තාර තාරුණ්‍ය විජය තරම් උත්කෘෂ්ඨ ලෙස පිලිබිඹු කළ නළුවකු සිංහල සිනමාවේ වෙත්නම් ඒ අමරසිරි කලංසූරිය වැන්නකු පමණි. විජය රඟපෑ ‘දියමන්ති’ , ‘පාරදිගේ’, ‘සිකුරු ලියා’, වැනි චිත්‍රපට ඊට දෙස් දෙයි. ‘පාරදිගේ’ එක අතකට ‘දියමන්ති’, චිත්‍රපටයේම එක්තරා දිගුවක් වැනිය. ‘පාරදිගේ’ අධ්‍යක්‍ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ කියා ඇති පරිදි මෙහි ආ චන්දරේගේ චරිතයට විජය හැරුණුකොට වෙනත් ආදේශකයක් - විකල්පයක් නොමැත.
ඇත්තටම පතිරාජගේ සිනමාවේ ප්‍රධාන රංග ප්‍රකාශකයා විජය නොවන්නේද? ඔහුගේ ‘සොල්දාදු උන්නැහේ’, ‘පොනිමනි’ හා ‘මතුයම් දවස’ හැරුණුකොට සෙසු චිත්‍රපට සියල්ලේම විජය කුමන හෝ චරිතයක් රඟපෑවේය. ‘අහස්ගව්වේ’ මහතුන් ‘එයා දැන් ලොකු ළමයෙක්’, හි ග්‍රාම සේවක, ‘බඹරු ඇවිත්’ හි වික්ටර් බේබි මහත්තයා විජයගේ අති සාර්ථක රංග නිරූපණ කීපයකි.
මෙයින් ‘බඹරු ඇවිත්’ හි විජයගේ චරිතාංග නිරූපණය අග්‍රගණ්‍යය. සාම්ප්‍රදායික ධීවර ගමක් ප්‍රචණ්ඩත්වයට යොමු කෙරෙන නව ප්‍රාග්ධනය ඔහුගේ චරිතයෙන් මූර්තිමත් කෙරිණි. මෙහි මෙන්ම ‘කැඩපතක ඡායා’, චිත්‍රපටයේද විජය රඟපෑවේ ප්‍රතිවීර (ඇන්ටි-Hඑරෝ චරිත වීමද කැපී පෙනේ.
පතිරාජගේ චිත්‍රපට හැරුණුකොට ‘මරුවා සමඟ වාසේ’, ‘කරුමක්කාරයෝ’, ‘පොඩිමල්ලි’, ‘මහගෙදර’, ‘කැඩපතක ඡායා’, ‘මධු සමය’ වැනි චිත්‍රපටවලද විජයගේ රංගනය ප්‍රශංසා පූර්වකය. වාණිජ අභිලාෂ මුදුන්පත් කර ගැනීම සඳහා යොදාගත් කුණුකන්දල්’ ඉවත් කළ විට ‘මරුවා සමඟ වාසේ’ සිනමා රූපි බවින් පිරිපුන් චිත්‍රපටයක් වෙයි.
එහි දී විජය මරුසිරාගේ චරිතයට එක පැත්තකින් මානුෂිකවත් අනිත් පැත්තෙන් ප්‍රචණ්ඩකාරිවත් ප්‍රවිෂ්ට වෙයි. ඔහු ඊට දෙන අර්ථ කථනය චිත්‍රපටයෙන් සමාජ දෘෂ්ටියක් ප්‍රකට කරන්ට ඉවහල් වෙයි.
චරිතාංග නළුවකු වශයෙන් විජය වඩාත් පරිපාකයට පත් අවස්ථාවක් ලෙස ‘කැඩපතක ඡායා’ හි ඔහුගේ රංගනය හඳුන්වා දෙත හැකිය.
මේ කිසිවක් විජය ජීවත්ව සිටියදී විචාරක අවධානයට යොමු වූයේවත් සම්මානයන්ට පාත්‍ර වූයේවත් නැත. එය විජයට කළ බරපතළ අසාධාරණයක් නොවන්නේද?ගායකයකු ලෙස ද විජය පෑ ප්‍රතිභාව මාහැඟිය. ගැඹුරුවූත් මධුරවූත් අපූර්ව ගී හඬක් ඔහුට තිබිණි.
තම සහෝදර කලාකරුවන්ට කිසියම් අසාධාරණයක් - අගතියක් සිදුවූ සෑම අවස්ථාවකදීම වාගේ විජය ඊට එරෙහිව නැඟී සිටියේය.
හොඳම උදාහරණ වන්නේ 1986 දී නන්දා මාලිනිගේ ගී වාරණය කළ අවස්ථාවේ සංගීත ක්ෂේත්‍රයේ සියලු දෙනාම එය නොදැක්කා සේ නො ඇසුවාක් සේ නිහඬව සිටියදී ඊට එරෙහිව හඬක් නැඟුවේ විජය පමණි.
මානව හිතවාදියකු වශයෙන් විජය අති සුවිශේෂ කලාකරුවෙක් වූයේය. ඔහු ජනතාවට ආදරය කළ කලාකරුවෙකි. ඔහු දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියේ ද රටට, ජනතාවට සේවයක් කිරීමේ උදාර චේතනාව පෙරදැරි කරගෙනය. විජය මියගිය අවස්ථාවේ එක්තරා පෝස්ටරයක ලියා තිබූ ප්‍රකාශයක් මෙහිදී මට සිහිපත්වෙයි. ‘රත්තරන් හදවත නිසලයි’. එයින් උද්ධරණය වූයේ විජයගේ උත්තර මානුෂික ලක්ෂණ මෙරට රසික ජනයා අත්දැක තිබූ ආකාරයයි.
විජය වරක් රුක්මණී දේවි ගුණානුස්මරණ උත්සවයකදී අපූරු කතාවක් පැවැත්වූයේය. ඔහු එහිදී කියූ දෙයකින් මේ සටහන නිමා කිරීම උචිත යැයි සිතමි. “නළුවෙක් ගේ නම මරන්න මොනම බලවේගයකටවත් බැහැ. නිළියකගේ නම මරන්න, ගායක ගායිකාවකගේ නම මරන්න කිසිම බලවේගයක් මේ මිහිපිට නැහැ සහෝදර සහෝදරයනි.”
සුනිල් මිහිඳුකුල (දිනමිණ)
Posted in:
srienews.com,
wijaya kumaratunga



0 comments for "සිංහල සිනමාවේ චිරස්ථායි පෞරුෂයක්"
Leave a reply