කලාවට පොලිසි ඕනෙ නෑ - ලක්සිරි වික්‍රමගේ (දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් සම්මාන උළෙල)

දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් සම්මාන උළෙල පවත්වන්නේ මොන වගේ අරමුණකින්ද?
ගීතයක් ටෙලිවිෂන්වල නිකම්ම පෙන්නන්න බෑනේ. ගීත පෙන්නන්න රූපරචනා ඕන වෙනවා. මේ සම්මාන දෙන්නේ එහෙම නිර්මාණය වන රූප රචනාවලට. එහෙම නැතුව ගීත රචනාවලටවත් තනු නිර්මාණයටවත් ගායකයාටවත් නෙවෙයි.
ගීතයකට රූප රචනාවක් සැකසෙද්දී ගීතයේ බලපෑමක් නෑ කියන්නේ කොහොමද?
ගීතය බලපානවා ඇති සමහර විට. ඒත් මේ සම්මාන උළෙලින් සම්මාන දෙන්නේ ගීතයට නෙවෙයි. රූප රචනාවට පමණයි.
ගීතය නොසලකා හැරලා රූපරචනාවට විතරක් සම්මාන දෙන්න පුළුවන්ද?
පුළුවන්. ඒක අපේ ලංකාවේ විතරක් නෙවෙයි අනෙක්
රටවල්වලත් කරනවා. ලෝකේ හැම රටකටම පුළුවන්නම් ලංකාවේ විතරක් බැරි ඇයි?
මේ සම්මාන උළෙල ලංකාවේ තිබෙන අනෙක් සම්මාන උළෙල අතරින් සුවිශේෂී වන්නේ කොහොමද?
විශේෂ වන්නේ මේක මියුසික් වීඩියෝ සඳහා සම්මාන දෙන ලංකාවේ එකම සම්මාන උළෙල නිසයි.
සම්මාන පිරිනැමීමේදී සලකා බැලූ නිර්ණායක මොනවාද?
අපි සම්මාන දුන්නේ 2012 වසරේදී බිහි වූ ගීත රූප රචනාවලට පමණයි. එහිදී රූප රචනාවේ කැමරාකරණය, අධ්‍යක්ෂණය ආදී විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ ඇගැයීමට ලක් කළා. එක සම්මානයක් පිරිනැමුණා රූප රචනාවේ පෙනී සිටින ගායකයන් අතුරින් ගායකයගේ හොඳම රංගනයට.
සම්මාන උළෙලේ විනිවිද භාවය සහතික කරන්නේ කොහොමද?
ඒක හරිම ලේසියි. මෙතැන පිළිගත් ජූරියක් ඉන්නවා. අපි ඒ ජූරියට ඇඟිලි ගහන්නේ නෑ. තීරණ ගන්නේ ඔවුන්.
ඒත් මේ වෙද්දී සම්මාන උළෙලට විවේචන ඇවිත් තියෙනවා නේද?
වවේචන කළේ සෝමරත්න දිසානායක මහත්තයා විතරයි.
දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ්
උළෙලින් සංස්කෘතික ඝාතනයක් සිදුවෙනවා කියන්නේ ඇත්තද?
එහෙම කියන්නේත් සෝමරත්න දිසානායක මහත්තයානේ. මෙතුමා දේශීය නිර්මාණ කියන්නේ හින්දුස්ථානී රාගධාරී සංගීතය ඇසුරෙන් බිහිවන දේශීය සංගීතයට. හින්දුස්ථානී සංගීතය දේශීය වන්නේ කොහොමද...? ඉන්දියාවේ මෑතකදී තිබුණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලකදී සම්මාන ගත්තේ යෝයෝ සිංග් කියන බටහිර ආරේ ගායකයා. හින්දුස්ථානී සංගීතය ගැන ඉන්දියාවටත් නැති කැක්කුමක් අපිට මොකටද..?
ඒත් හොඳ ගීතවලටත් රූප රචනා වෙනවා නේද?
නෑ. ඔහු බලාපොරොත්තු වන මට්ටමේ ගීතවලට නම් 2012 වර්ෂයේ කිසිම රූප රචනාවක් බිහිවෙලා තිබුණේ නෑ. ඔය කියන්නේ ටෙලිනාට්‍ය ගීත ගැන නම් අපි එවැනි රූප රචනාවලට සම්මාන දුන්නේ නෑ.
ඇත්තටම එදා සිදුවුණේ මොකක්ද?
අපි සම්මාන උළෙල පවත්වන්නේ ලෝකයේ සම්මාන උළෙලක් පවත්වන ජාත්‍යන්තර ප්‍රමිතියට. දේශපාලනඥයන් ගෙන්වලා ඔවුන්ට වන්දලා සම්මාන දෙන ක්‍රමයක් අපි ළඟ නෑ. කලාකරුවන්ම තමයි කලාකරුවන්ට සම්මාන දෙන්නේ. එයාලට වේදිකාවේදී කතාකරන්නත් අවස්ථාව ලැබෙනවා. සෝමරත්න දිසානායක මහත්තයා විතරක් අපේ සම්මාන උළෙල ගැන අප්‍රසාදයෙන් කතා කරන්න ඒ අවස්ථාව යොදා ගත්තා. ඔහු සමඟ වේදිකාවට පැමිණි අනෙක් සිවුදෙනා ඔහුට විරුද්ධව කරුණු දැක්වූවා.
සෝමරත්න දිසානායක සම්මාන උළෙලට ආවේ ඔබේ ආයතනයේ ආරාධනයෙන් නේද?
ඔව්. ඔව්. එතුමා ඒ වෙලාවේ වේදිකාවට ආවේ සම්මාන දෙන්න. අපිට සෝමරත්න දිසානායක මහත්තයා එක්ක කිසි ගැටලුවක් නෑ. එතුමා අපේ ඉතාම හිතවත් මිත්‍රයෙක්. මේක මත ගැටුමක් විතරයි.
මේ සම්මාන උළෙලට තියෙන ජාතික පිළිගැනීම කොයි වගේද?
එහෙම පිළිගැනීමක් අවශ්‍ය නෑ. ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල කරන්නේ ෆිල්ම් ෆෙයාර් සඟරාවෙන්. ඒ වගේ තමයි අපිත්.
සෝමරත්න දිසානායකගේ අදහස් දැක්වීමෙන් ඔබේ සම්මාන උළෙලට විරුද්ධව මතවාදයක් ගොඩනැඟෙනවා නේද?
අපි මේ සම්මාන උළෙල පැවැත්වූවේ සිවුවැනි වතාවට. ඊළඟ අවුරුද්දෙත් අපි මේ උළෙල පවත්වනවා. ඔය චෝදනා ඔක්කොම ගේන්නේ කලාවටත් පොලිසිය ඕන කියන පිරිසක්.
ඊළඟ අවුරුද්දේදීවත් සම්මාන ප්‍රදානයේදී නිර්මාණාත්මක පක්ෂය ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා හිතෙන්නේ නැද්ද?
මේ සම්මාන උළෙලෙදී සම්මාන ලබන්නේ මගේ පෞද්ගලික කැමැත්ත නෙවෙයි. ඒත් ආයතනික වශයෙන් මෙවැනි උළෙලක් සංවිධානය කරද්දී පෞද්ගලික කැමැත්ත පැත්තකින් කියලා පොදු කැමැත්තට හිස නමන්න සිදු වෙනවා.
සම්මාන ප්‍රදානයට ආරාධනා කරපු පිරිස මෙහි ස්වභාවය සම්බන්ධයෙන් කලින් දැනුම්වත් නොකළේ ඇයි?
දැනුම්වත් කරන්න තිබුණා. ඔවුන් ජූරීයේ හිටියා නම් අවුරුදු 03 ක් තිස්සේ මේ උත්සවේ පැවැත්වෙද්දී මේ ගැන දැනගන්න එක ඔවුන්ගේ වගකීම.
වාසනා සුරංගිකා විතානගේ
0 comments for "කලාවට පොලිසි ඕනෙ නෑ - ලක්සිරි වික්‍රමගේ (දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් සම්මාන උළෙල)"
Leave a reply