ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දෝෂාභියෝගයේදී හොඳට වැඩ කරපු අයට හොඳ ඇමැතිකම් ලැබිලා තියෙනවා

නැවත කැබිනට් සංශෝධනයක් සිදු කර තිබෙනවා. හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ් ඇමැතිවරු මාරු කළාට මේ ආණ්ඩුවට රට ගොඩගැනීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
යුද්ධය පවතිද්දී ලෝකයේ ලොකුම ඇමැති මණ්ඩලය නඩත්තු කිරීමට අපේ රටේ ජනතාවට සිදුවුණා. යුද්ධය පවතින නිසා ආණ්ඩුව රැකගැනීමට සෑම දෙනාටම ඇමැතිකම් ලබාදීමට සිදු වන බවයි එහිදී ආණ්ඩුව ප්‍රකාශ කළේ. නමුත් දැන් යුද්ධයක් නැහැ. එහෙත් ඇමැති මණ්ඩලය යුද්ධය
පැවැති කාලයටත් වඩා ඉහළ දමා තිබෙනවා. ඔළු ගෙඩි මාරු කරමින්, ඇමැතිවරුන් පැටව් ගසමින් තිබියදී ඒ බරත් සාමාන්‍ය ජනතාවට පැටවීමට ආණ්ඩුව ක්‍රියා කරනවා. කලින් ඇමැතිවරුන් හිටියේ 58 යි. අද එය 65 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඇමැතිවරුන් වැඩි වුණාය කියලා ජනතාවට වෙන සෙතක් නම් නැහැ. මේවායේ සැබෑ සෙත අත්වෙන්නේ මේ පත් වෙච්ච ඇමැතිවරුන්ටම පමණයි.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී ලොකු වැඩ කොටසක් කළ අයට හොඳ ඇමැතිකම් ලැබිලා තිබෙනවා. නිවැරදිව අමාත්‍යාංශයේ කටයුතු කළ අයට දියාරු ඇමැතිකම් ලබා දී තිබෙනවා. මේකෙන්ම පේනවා මෙදා ඇමති මණ්ඩල සංශෝධනය හිතවතුන් සතුටු කිරිම උදෙසා ගෙනා එකක් බව.
විදුලි බිලෙන්, ගෑස් සිලින්ඩරයෙන්, ජල බිලෙන්, බඩු මිලෙන් ආදී සියල්ලෙන්ම මේ ඇමැතිවරුන්ගේ බර දැරීමට ජනතාවට සිදු වෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් රට අගාධයෙන් ගොඩගැනීමට මුහුණු වෙනස් කිරීමෙන් නොහැකි බව අපි ආණ්ඩුවට මතක් කරනවා. මේ රට ගොඩ ගත හැක්කේ සමස්ත ආණ්ඩුවම මාරු කළ දවසට බව අද වන විට ජනතාව තේරුම් ගනිමින් සිටිනවා. ඇමැතිවරුන් නොව රට හදන්න නම් ආණ්ඩුවම මාරු කළ යුතුයි.

Posted in:

0 comments for "දෝෂාභියෝගයේදී හොඳට වැඩ කරපු අයට හොඳ ඇමැතිකම් ලැබිලා තියෙනවා"

Leave a reply