ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කටුනායකින් ශ්‍රී ලංකාවට එන මගීන්ට විෂ මත්ද්‍රව්‍ය බීමට දී දේපළ කොල්ලකෑ සැකකරු රක්‍ෂිතයට


කටුනායක ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන කාන්තාවන් ඇතුළු මගීන් විශාල පිරිසක්‌ මුලාකර විෂ මත්ද්‍රව්‍ය වර්ගයක්‌ බීමට සලස්‌වා රුපියල් කෝටියකට ආසන්න ස්‌වර්ණාභරණ හා මුදල් කොල්ලකන ලද බවට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවකු මෙම මස 18 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මී සිංගප්පුලි මහතා ඊයේ (08 වැනිදා) නියෝග කළේය.
කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී කාලයක්‌ තිස්‌සේ මෙම ක්‍රමයෙන් මහජන දේපළ සොරාගැනීම සම්බන්ධව මීගමුව අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි මොහු අක්‌කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු කලකට ඉහත කොළඹ සිට මඩකලපුව අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස්‌ සිටියදී පොලිසියට කොටුවී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට
ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් සිදු කරන ලද ඉහත කී අපරාධ සම්බන්ධව අනාවරණය වී තිබේ.

සැකකරු සමඟ මොහුට එරෙහි පැමිණිල්ල කෙසෙල්වත්ත පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ කටුනායක පොලිසිය ද අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඔහුට එරෙහිව මීගමුව අධිකරණය හමුවේ එවැනිම දේපළ කොල්ලකෑම් පිළිබඳ පැමිණිලි 09 ක්‌ විභාග වෙමින් තිබියදී අධිකරණය මඟහැර සිටීම නිසා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියෝග ලබා දී ඇතැයි දන්වා සිටියේය.

තවද මොහු කල්පිටිය ප්‍රදේශයේ කාන්තාවක්‌ රවටා කොළඹට කැඳවාගෙන ගොස්‌ මත්ද්‍රව්‍ය පොවා රුපියල් 195700 ක මුදලක්‌ කොල්ලකා පලාගොස්‌ සිට ඇතැයි ද වාර්තා කර තිබේ.

මේ හැර ආදුරුප්පුවීදිය, මරදාන පොලිසිවල ද මොහුට එරෙහි දේපළ කොල්ලකෑම් පැමිණිලි ගණනාවක්‌ ලැබී ඇතැයි ද කොල්ලකන ලද රන් භාණ්‌ඩ මොරටුව ප්‍රදේශයේ ස්‌ථානයකට උකස්‌ කර ඇතැයි ද පොලිසිය දන්වා සිටියේය.

Posted in:

0 comments for "කටුනායකින් ශ්‍රී ලංකාවට එන මගීන්ට විෂ මත්ද්‍රව්‍ය බීමට දී දේපළ කොල්ලකෑ සැකකරු රක්‍ෂිතයට"

Leave a reply