මෛත්‍රිපාල මරණ සැලසුමේ කර්තෘ අඥාතයි - අනුර දිසානායක
"මේ දවස්‌වල මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා මාධ්‍ය ඉස්‌සරහට ඇවිත් කියනවා තමන් ඝාතනය කිරීමේ සැලැස්‌මක් තියෙනවා කියලා. හැබැයි ඒකේ කර්තෘ අඥාතයි. මම එතුමාට කරන උදව්වක් හැටියට ඒ චෝදනාව කරන්නේ කාටද කියලා කියන්නම්. මේ රටේ ප්‍රබලම පවුල ගැනනේ එතුමා ඔය වහෙන් ඔරෝ කියන්නේ." යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී, සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති අනුර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මහතා මෙම ප්‍රකාශය කළේ ඉකුත් 28 දින පස්වරුවේ හිඟුරක්‌ගොඩ ගෝල්ඩන් ෆ්ලවර් හෝටලයේ පැවැති "ගොවියාගේ අරගලය හා හෙට දවස" ගොවි සම්මන්ත්‍රණය අමතමිනි.
මෙහිදී තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා "මෛත්‍රිපාල මහත්තයාම කියනවා එතුමා ශ්‍රීලනිප සාමාජික වෙලා අවුරුදු 43ක් වෙනවා කියලා. ඒ වගේ කෙනෙකුටත් මරණ භය දැනෙනවා නම් රට ගමන් කරන්නේ කොහාටද කියලා ඔබට සිතා ගන්න පුළුවන් නේද?
අද රටේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් බෙදිලා ගිහිල්ලා තියෙන්නේ
පවුල් 5.000ක විතර සුළු පිරිසක් අතරේ. ගොවි අම්මා තාත්තාගේ දරුවෝ දුප්පත්කමේ පහළම රේඛාවේ ඉන්නේ. අපට ජීවිතයක් නැහැ. ඔහේ ඉපදෙනවා. ඔහේ මැරෙනවා. ගොවි දරුවන්ට නිසි අධ්‍යාපනයක්, ආදායම් මාර්ගයක් නැහැ. අඩුම ගානේ ගොවියා නෙළා ගන්න අස්‌වැන්නේ වටිනාකමෙන් 20%යි ගොවියාට ඉතිරි වෙන්නේ. ඉතිරි ඔක්‌කොම බලවත් ව්‍යාපාරිකයන් අතට යනවා. හැබැයි අර මුලින් කිව්ව පවුල් 5,000 සමහර දරුවන්ට රෑට කොළඹ නගරය වහලා කෝටි ගණනක් වියදම් කරලා කාර් රේස් පදින්න පුළුවන්. ඒවායේ අයිතිකාරයෝ මොන රස්‌සාවක් කරලද ඔය තරම් ආදායමක් උපයා ගත්තේ. ජනතාව මැරීගෙන වැඩ කරනවා. ඒ ගොල්ලෝ ධනය පොදි ගහගන්නවා.
මහ ධනස්‌කන්ධයක් වියදම් කරලා හදපු හම්බන්තොට වරාය විවෘත කරලා මාස 36 යි. මේ කාලෙටම ඇවිත් තියෙන්නේ නැව් 32 යි. අද මේ වරායවල මාළු බානවා. ඒ වගේ මාළු බාන්න වරායවල් මොකටද? රටේ ආර්ථිකය කඩා වැටිලා. එදිනෙදා වියදම් පියවා ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ඉල්ලනවා. ඒ අය එහෙම ණය දෙන්න සූදානම් නැහැ. රටේ ආර්ථිකය කඩාවැටුණාම උත්තර නැහැ. අද රුපියල් 5,000.00ක් නැතුව කසාද බදින්නත් බැහැ. ගොවියෝ 93,000කගේ ගොවි විශ්‍රාම වැටුප ගෙවන්නේ නැහැ. ඊළඟ කන්නයේ ඉඳලා පොහොර මිටිය රුපියල් 500යි. සංචාරක ප්‍රවර්ධනයට කියලා වැව් ටික බදු දීලා සී. ප්ලේන් බස්‌සන්න හදනවා. අවුරුදු දහස් ගණනක් තිස්‌සේ අපේ මුතුන් මිත්තෝ රැක ගත්තු වැව් ටික සුද්දන්ට දූ කෙළියේ යෙදෙන්න බදු දෙන්න හදනවා. අප ඊට ඉඩ දෙන්නේ නැහැ. රටේ ඉඩම් අක්‌කර දහස් ගණනක් පිටරට සමාගම්වලට බදු දෙනවා. අහිමි වන ඉඩම් රැක ගන්න අපි ඉදිරිපත් වෙන්න ඕනෑ.
ලෝකේ ප්‍රධානතම කළු ජාවාරම්වලින් එකක් තමයි බීජ ජාවාරම. රටේ මුළු බීජ මෙම බහුජාතික සමාගම් ආක්‍රමණය කරලා. අපේ බීජ නිෂ්පාදනය අපට අහිමි කරලා. බීජ ගොවිපලවල් විකුණුවා.
මුළු රජරට කලාපයම වකුගඩු රෝගයට ගොදුරු වෙලා. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ විතරක් රෝගීන් 80,000ක් වාර්තා වෙලා තියෙනවා. දැනටමත් 20,000ක් විතර මිය ගිහින්. තමන්ගේ ප්‍රදේශයේ අසරණ ගොවියෝ. ගොවීන්ගේ දරුවෝ බේරා ගන්න සෞඛ්‍ය ඇමැති මොනවද කළේ? පහුගිය දවසක ලෝක සෞඛ්‍ය සංවිධානය වකුගඩු රෝගයට හේතුව ගැන සොයා බලලා හදපු වාර්තාව සෞඛ්‍ය ඇමැතිවරයාට භාර දුන්නා.
කෝ, ඒක එළියට දැම්මද? නැහැ. මම අභියෝග කරනවා. පුළුවන්නම් ඒක ප්‍රසිද්ධ කරන්න කියලා. මේ වාර්තාවේ තියෙනවා රජරට කලාපයේ පානීය ජලය පරිභෝජනයට නුසුදුසුයි කියලා. මේවාට පිළිතුරු දෙන්න බැරි නිසා ඒ වාර්තා හංගගෙන ඉන්නවා.
රටේ ආර්ථිකය නගා සිටුවන්න කියලා සැලසුම් කරන හැම වැඩ සටහනක්‌ම අසාර්ථකයි. රට පුරා බැනර් කටවුට් ගහලා පටන් ගත්තා අපි වවමු, රට නගමු ව්‍යාපෘතිය දැන් ඉවරයි. ඒ පිළිබඳ තිබුණ කාර්යාලයත් නැහැ. දැන් දිවි නැඟුම පටන් අරන්. රටේ හැම ගෙදරකටම ඇට පැකට් එකක් දුන්නට කුකුළු පැටව් දුන්නට කෘෂි කර්මාන්තය දියුණු කරන්න බැහැ. රටට යෑපුම් කෘෂි කර්මාන්තය නෙවෙයි අවශ්‍ය නිෂ්පාදන කර්මාන්තයයි දියුණු කරන්න ඕනෑ.
රටේ මුළු මහත් ආර්ථික දේශපාලන ක්‍රමයම වැරදියි. අපට ගැලපෙන ක්‍රමයක් හදන්න ඕනෑ. අවුරුදු 62ක් වලව් හතරක අය විසින් පාලනය කළේ. ඒ අයගෙන් පහළ පංතියේ මිනිස්‌සු අතට බලය ගන්න ඕනෑ. පාර්ලිමේන්තුව ඇතුලේ සටන් නැහැ. සටන තියෙන්නේ කම්හලේ, වැඩබිමේ මහ පාරේ.
සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා, ආණ්‌ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරයාම පිළිගන්නවා අද වී කිලෝ එකක් නිපදවන්න රුපියල් 31.00ක් වියදම් වෙනවා කියලා. එහෙමනම් රුපියල් 32.00ට වී අරගෙන හරියනවද? එහෙම ගන්නත් පහසුකම් නැහැ. ගන්නෙත් එක ගොවියෙකුගෙන් කිලෝ 2,500යි. ඒකත් දවස් ගාණක් පෝලිම්වල ඉන්න ඕනෑ.
මෙම අවස්ථාවට සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ උප ලේකම් ටී. බී. සරත් මහතාද සහභාගීවී සිටියහ.

0 comments for "මෛත්‍රිපාල මරණ සැලසුමේ කර්තෘ අඥාතයි - අනුර දිසානායක"
Leave a reply