ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කාලි මෑණියන්ගේ අවතාරය දුටු හැටි නිල්මිණි තෙන්නකෝන් හෙළි කරයි

 කාලි මෑණියන් කෙරෙහි විශ්වාසය සිත තුළ දරාගෙන මෑණියන් අදහන බැතිමතුන්ගේ හදවත් තුළ මෑණියන් ජීවමානව සිටින බව සත්‍ය පිළිගැනීමකි. එය එදත් එසේමයි අදත් එසේමයි. මා මේ කියන තරුණිය සුප්‍රසිද්ධ රංගන ශිල්පිනියකි. මෑණියන් හමුවෙන්නේ ඇයගේ මනෝකාය දෙලොවක් අතර සක්මන් කරමින් සිටියදීය.


රතු සාරියකින් සැරසී හෙල්ලක් අත දරාගෙන දිව දිගුකරගෙන සිටින එම මිටි කාන්තා අවතාරය කාලි මෑණියන්ය. කාලි මෑණියන් අදහන බැතිමතුන්ට ඇය සෙවණැල්ලක් මෙන් සිට පිහිට වුණු ආකාරය පිළිබඳ සත්‍ය සිද්ධීන් හලාවත කාලි කෝවිලේ මහේන්ද්‍රසාමිගේ මතකයෙන් සතිපතා දිග හැරෙයි. මේ කියන රංගන ශිල්පිනියද දෙලොවක් අතර සිට යළි මෙලොවට එන්නට තරම් වාසනාවන්තියක වන්නේ කාලි මෑණියන්ගේ සෙනෙහස නිසා බව යැයි කීම සත්‍යයකි. ඇයද මට හමුවන්නේ මහේන්ද්‍රසාමිගේ මඟ පෙන්වීමෙනි. කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි ඇය නිතිපතා තිසරණ සරණ යන දේව සංකල්පයට හදවතින්ම කැපවී සරස්වතී දේවියගේ බැල්ම මෙන්ම කාලි මෑණියන්ගේ ආශීර්වාදය ලැබූ රංගන ශිල්පිනියකි. දැනට වසර තුනකට පෙර ඇය පෙරදා රාත්‍රි නින්දට වැටුණේ පසුදා ටෙලි නාට්‍යයකට අදාළ රූගත කිරීම් සඳහා පිට පළාතකට යෑමට අලුයම අවදිවීමේ සැහැල්ලු සිතකින් යුතුවය. ඇයට කාලි මෑණියන් එලොවදී හමුවී පිහිට වූ ආකාරය තනියට ආ ආකාරය ඇගේ බසින්ම දිගහැරුණේ මෙසේය.


'එදා රෑ නින්දේ සිටියදී කාලි මෑණියන්ගේ අවතාරය ලස්සනට මා ළඟ හිටගෙන සිටින ආකාරය සිහිනෙන් පෙනුණා. පසුදින අලුයම අවදි වෙලා මම කාමරයෙන් එළියට එනවිට ලිස්සා ගිහිං බිම වැටී බිම දිගේ රෝල් වුණා. ගෙදර බිම තබා තිබුණ ෆොටෝ, මල් බඳුන් හය හතක් කැඩී බිඳී කුඩු වුණා.


නංගියි මමයි එකම තැනයි පදිංචි වී සිටියේ. මගේ දරුවාව පාසල් යවන්න කටයුතු ලෑස්ති කරලා එයාව නංගිට භාරදීලයි මම යන්න සූදානම් වුණේ. අලුයම සිදුවූ දෙයත්, හීනෙන් කාලි මෑණියන්ගේ අවතාරය මා ඉදිරියට ප්‍රදර්ශනය වීමත් තුළ මට මගේ සිතේ යම්කිසි සැකයක් බියක් ඇති වුණා, අතරමඟ යම්කිසි කරදරයක්ද කියා. මම පිච්ච මල්වලට ගොඩාක් ආශා කළා. මගේ ගේ ඉදිරිපිට තිබෙන පිච්ච මල් ගහෙන් පිච්ච මලක් කඩාගෙන නංගිට කීවා කරදරයක් වුණොත් මගේ දේහය තියෙන පෙට්ටිය පිච්ච මලින් පුරවන්න කියලා. පිච්ච මල් අහුරක් අතින් කඩාගෙන තමයි මම ඒ ගමන පිටත් වුණේ.


වයඹ පළාතේ තිබුණු රූගත කිරීම් සඳහා තමයි මම එදා පිටත්ව ගියේ. ඒ දවසෙත් නිදිවරල සිටි නිසා මට මෝටර් රථයේදී හොඳට නින්ද ගියා. ඒ නින්ද ගිහින් සුළු මොහොතක් ගතවෙද්දී මම ගිය වාහනේ විශාල රිය අනතුරකට මැදි වුණා. මට ඒ වෙලේ සිහිය තිබුණා. කාරුණික ත්‍රිරෝද රථ රියැදුරෙක් මාව දාගෙන රාගම රෝහල වෙත රැගෙන යනවා මට මතකයි. රාගම රෝහලට ගෙන ගිහින් මාව ට්‍රොලියට දානවා මතකයි. මගේ දරුවෙක් ඉන්නවා මාව මරන්න එපා කියලා මට කියැවුණා. ඒ සමඟම මට සිහිනැති වුණා. සති කීපයකින් මට පියවි සිහිය එනතුරු මගේ සිරුර කෙළින් අතට අහසේ පාවෙනවා. මගේ මනෝකාය එකපාරම ගැස්සී සුදු වැලිතලාවක් කාන්තාරයක් වගේ තැනකට වැටුණා. එතැනදී තමයි මට මිටි රතු පැහැති ඇඳුමින් සැරසුණු දිව එළියට දමාගෙන හෙල්ලක් අතින් ගත් කාලි මෑණියන්ගේ අවතාරය හමුවන්නේ. මම ඇයට බියවී දුවන්න පටන් ගත්තා.


කාලි මෑණියන්ගෙ ඒ අවතාරය මට මෙහෙ එන්න එපා ආපසු යන්න කියලා කීවා. මම දුවගෙන යද්දී ඒ මෑණියන්ගේ අවතාරය මාව විශාල වළකට දැම්මා. මම වැටුණු ඒ වළේ මම නිවෙසේදී දුටු පිච්ච මල් ගහේ වගේ පිච්ච මල් තිබුණා. මා පසුපස ආව ඒ කාලි මෑණියන්ගේ අවතාරය මට මගේ දරුවගේ මතකය ලබාදුන්නා කියලා මට හිතෙනවා. වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන විට මට රැකවරණය දුන්නේ කාලි මෑණියොය. ඒ වෙලාවේ දෙලොවක් අතර සිටි මගේ ජීවිතය බේරුවෙ මා පසුපසින් සිටිය කාලි මෑණියොය. මට යළි පියවි සිහිය ඇවිත් මේ ලෝකෙට ආපසු හරවා එව්වේ ඇය. අවසන් මොහොතේදිත් මවකගේ හදවතේ දැනෙන දරු දුක ඒ වේදනාව ඇයටත් දැනෙන්න ඇති. මාව සුවපත් කළ වෛද්‍යවරුන්ටත් මෑණියන්ගේ ශක්තිය එකතු වුණ එක සත්‍යයක්. අදටත් මට දුකක් කරදරයක් වේ නම් එය මට පෙන්නුම් කරනවා. ඒ විතරක් නෙවෙයි මගේ හිතවත් රංගන ශිල්පිනියන්ට වුවත් කරදරයක් වේ නම් එයත් මට මෑණියන් පෙන්නුම් කර දෙනවා. මේ ළඟකදී මගේ හිතවත් රංගන ශිල්පිනි යෙහෙළියකට කිසියම් සතුරු බලවේගයක් කේක් ගෙඩියක් එවන බවක් මට මෑණියන් පෙන්නුම් කළා. මම ඒ බව දුරකතනයෙන් ඇයට දැන්නුවා. ඒ වගේම එයාට පසුදින කේක් ගෙඩියක් නිවෙසට ලැබුණා. ඇය ඒක සතකුටවත් නොදී විසිකර දැමුවා. ඉන්දියාවේ චෙන්නායි සිට සැතැපුම් 16 ක් දුරින් විජයවඩා කියන දුෂ්කර ගම්මානයේ කාලි මෑණියන්ගේ මහ ගෙදර නමින් හඳුන්වන පැරැණිම කාලි දේවාලයට මම කීප අවස්ථාවකම ගිහින් පුද පූජා පවත්වලා තියෙනවා.


මට ඒ කෝවිලේ පෙන්නුම් කළේ සිහිනෙන්. ඒ සිහිනයෙන් මට කෝවිල මැද බෝ ගහක් තිබෙන ආකාරයත් ඒ අබියසින් ගඟක් ගලාගෙන යන අන්දමත් පෙන්නුම් කළා. පස්සේ මම අන්තර්ජාලය හරහා සොයාගෙන තමයි එතැනට ගියේ. මම ගිය වාහනය එතැන නතර කරන විට මගේ සිහිනය සැබෑ වුණුු බව මම දුටුවා. කාලි මෑණියන් කෙරෙහි මගේ තියෙන භක්තිය තව තවත් වැඩි වුණා. වසර තුනක් තිස්සේ මම ඒ කාලි කෝවිලට ගියා. දැන් වුවත් කාලි කෝවිලට ගිහින් මෑණියන්ට පුද පූජා තියනකොට එහි තෝත්‍ර කියනකොට මගේ සිරුරට පවා සැහැල්ලුවක් දැනෙනවා. ඒක මට දැනෙන බව කාලි කෝවිලේ සාමිලටත් දැනිලා තියෙනවා. එවිට මගේ සිරුර සැහැල්ලු වෙනවා. කාලි කෝවිලේ ලොකු සාමි මට කීව කාලි මෑණියන්ගේ බැල්ම මට තිබෙන බව ඒ අයටත් පේනවා දැනිලා තියෙනවා කියලා. කාලි මෑණියන් වෙනුවෙන් මම හැමදාම දුප්පත් මිනිහෙකුට රුපියල් 100ක් හරි දීලා මෑණියන්ට පින් දෙනවා. මගෙ ජීවිතය මගෙ ආර්ථිකය සියල්ල ආරක්ෂා කරන්නේ මෑණියො. මට කරදරයක් සිදුවනවා නම් එතකොට මෑණියන් ඒ උවදුරුවලින් මාව ගලවගන්නවා. සතුරු කරදරයක් වේ නම් ඒ අයට දඬුවම් දීලත් තියෙනවා. මගේ ආර්ථිකය මගේ ජීවිතය ලස්සන කරන්නේ කාලි මෑණියො. අපි කාලි මෑණියන් සමඟයි. මෑණියන් අප සමඟයි. ඒ ජනප්‍රිය රංගන ශිල්පිනිය කවුරුත් නොව නිල්මිණි තෙන්නකෝන් මහත්මියයි.


ප්‍රේමලාල් විජේරත්න

Posted in:

0 comments for "කාලි මෑණියන්ගේ අවතාරය දුටු හැටි නිල්මිණි තෙන්නකෝන් හෙළි කරයි"

Leave a reply