දුව නිළියක් වෙනවට මම කැමැති නෑ... - කාංචනා මෙන්ඩිස්
• කාංචනාට නම් අවුරුදු ජයයි වගේ.....?
ඔව්. විදෙස් ගත වුණාට පස්සේ රොෂාන් අවුරුද්දට ගෙදර හිටිය පළමුවැනි වතාව. ඒ වගේම විවාහ වුණාට පස්සේ අපි සැමරුවෙ පළමුවැනි අවුරුද්ද. ඊටත් වඩා මේ අවුරුද්දේ අපේ පවුලට අලුත් අමුත්තියක් එක් වුණානේ.... ඒ නිසා අවුරුද්ද බොහොම සතුටින් සැමරුවා.
• කාංචනා කතෝලිකනේ..... රොෂාන් නැතුව පසුගිය කාලේ අවුරුදු සැමරුවාද?
මම කතෝලික වුණාට රොෂාන් හොඳ බෞද්ධයෙක්. රොෂාන් නැතුව එයාගෙ අම්මයි, තාත්තයි එක්ක අවුරුදු සමරන්න මම හැම සිංහල අවුරුද්දකටම රොෂාන්ලගේ මහ ගෙදරට යනවා.
• දැන්වත් අලුත් අමුත්තිය ගැන කියමුද?
කියමු.... කියමු.... අපේ පවුලට පසුගිය මාර්තු 27 පුංචි දූ පැටියෙක් එකතු වුණානේ.... එයාගෙ නම කෙයිෂා රයිනි රණවක.
• නංගීගෙ පැමිණීම ඔබේ ආදරය මැද්දෙම හැදුණ සෙනිත පුතාට ගැටලුවක් වුණේ නැද්ද?
අපිත් ඒ ගැන හිතුවා.... මුලදි පුංචි නොකැමැත්තක් වගේ තිබුණා. නංගි ආවාට එයාට අපේ ආදරේ අඩුවක් නෑ කියලා දැනෙන්න ඇතිනේ... දැන්නම් පුතා නංගිට හරි ආදරෙයි.
• කාංචනා කැමැත්තෙන් හිටියෙ දුවෙක්ටද?
ඔව්. පුතෙක් ඉන්නවානේ ඊළඟට දුවෙක් හිටියානම් හොඳයි කියලා හිතුණා.
• රොෂාන්ගේ කැමැත්ත තිබුණෙත් දුවෙක්ටද?
රොෂාන් නම් තවත් පුතෙක්ට තමයි කැමැත්තෙන් හිටියේ..... ඩොක්ටර්ගෙන් කවුද කියලා අහන්නත් එපා කියලා කිව්වා.... මම දැනගෙන හිටියා ලැබෙන්න ඉන්නේ දුවෙක් කියලා..... ඒත් දුව ලැබෙනකන්ම රොෂාන්ට ඒක රහසක් විදියටම තියාගත්තා. මට ඕනෑ වුණා එයාව පුදුම කරන්න.
• දුව ඉපදෙනකොට රොෂාන් ලංකාවෙද හිටියේ...?
ඔව්. රොෂාන් දවස් කීපයකට කලින්ම ආවා.
• දුවක් කියන්නේ අම්මාට ලොකු වගකීමක් කියලා හිතෙන්නේ නැද්ද?
ඇයි නැත්තේ. දුවෙක් ගෙදරට සම්පතක් වාසනාවක් වගේම අම්මාට තාත්තාට ලොකු වගකීමක් තමයි. විශේෂයෙන් අම්මාට..... දුව ඉපදුණ වෙලාවෙ ඒ වගකීම මහ මෙරකටත් වඩා මට දැනුණා....
• දුව නිසා ආයෙමත් ටික කාලයක් රංගනයෙන් අෑත් වෙන්න සිද්ධ වෙයි නේද?
ඔව්.... ඒත් ඒක මම සතුටින් කරන දෙයක්. හැමදේටම වඩා දැන් මට වටින්නේ මගේ දරුවෝ සහ මගේ පවුල.
• දුව ලැබෙන්න කලින් අවසානයට දායක වුණ නිර්මාණය මොකක්ද?
සුදත් රෝහණ අයියාගේ ගිරිකුළු නාට්‍යයට. ඒ මීට මාස හතකට විතර කලින්....
• පුතා ලැබිලා රංගනයට එකතු වුණා විතරයි.... ආයෙමත් රංගනයෙන් අෑත් වෙන්න සිදු වුණා. ඒක ගැන දුක නැද්ද...?
නෑ.... ඇයි මම දුක් වෙන්නේ... මම අවුරුදු ගාණක් රංගන ක්‍ෂේත්‍රයේ හිටියා..... හොඳ නිර්මාණ බොහොමයකට දායක වුණා..... රංගනය කියන්නේ ජීවිතය නෙවෙයිනේ..... මම යථාර්ථය තේරුම් අරගෙනයි ජීවත් වෙන්නේ. මේ මම මගේ ජීවිතය, මගේ පවුල වෙනුවෙන් වෙන් කරන කාලය.
• පසුගිය කාලේ පුතාත් එක්ක රොෂාන් ළඟට යනවා කිව්වා නේද?
ඔව්... ඒත් ඊට කලින් රොෂාන් ලංකාවට ආවානේ.... එයා මාස කීපයක් ලංකාවේ හිටියා. සුදත් අයියාගේ නාට්‍යය කරනකොටත් රොෂාන් හිටියේ ලංකාවේ..... මාත් එක්ක දර්ශන තලයට පවා ආවා.... ඊට පස්සේ දුව ලැබෙන්න හිටපු නිසා පුතයි මමයි ඒ ගමන පස්සට කල් දැම්මා..... දැන් තව ටික කාලෙකින් දුවවත් එක්කගෙනම ගිහින් එන්න පුළුවන්නේ....• ලංකාවේ පදිංචියට එන්න රොෂාන්ගේ අදහසක් නැද්ද?
එයා කියන්නේ අවුරුදු ගාණක් දුක් විඳලා ඉගෙනගෙන ලැබුණ හොඳ රැකියාව දාලා එන එක අපරාධයක් කියලා....
• ඉදිරියේදී කාංචනාව දකින්න ලැබෙන චිත්‍රපට මොනවාද?
ක්ලීටර්ස් මෙන්ඩිස් අයියගේ 'පරපුර' චිත්‍රපටයට සහ වාසිහ සමරනායකගේ 'වස්දඬුරාවය'ට දායක වුණා.
• දුව කවදාහරි නිළියක් වෙන්න ඕනෑ කිව්වොත්....?
අද විශේෂයෙන් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය පරිහානියට ලක්වෙලා... එවැනි තත්ත්වයකදී නිළියක් විදියට ස්ථාවර වෙන්න බෑ... අවර ගණයේ නිර්මාණවලට දායක වෙලා නිළියක් වෙනවට වඩා හොඳයි වෙනත් වෘත්තියක් කරන එක. දුවගේ කාලය වෙද්දී ටෙලි නාට්‍ය කලාවේ හොඳ පිබිදීමක් ඇතිවෙලා තිබුණොත් එයා නිළියක් වෙනවට මගේ අකැමැත්තක් නෑ... ඒත් මේ වගේ තත්ත්වයකදී නිළියක් වෙනවාට නම් කැමැති නෑ.
• රංගන ක්‍ෂේත්‍රය ගැන කලකිරීමෙන්ද ඉන්නේ.....?
නෑ.... රංගන ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් නෑ.... ඒත් හොඳ නිර්මාණ බිහි නොවෙන එක ගැන නම් කලකිරීමක් දැනෙනවා.
• අනාගත හීන ගැනත් කියමු.....?
ලොකුම හීනය දරුවෝ.... එයාලා බුද්ධිමත් සාමාජයට වැඩදායී දරුවෝ කරන්න ඕනෑ... ඒ හීනය මම විතරක් නෙවෙයි මාත් එක්කම රොෂානුත් දකින හීනයක්.
හිමේෂා සවන්තී රාජපක්‍ෂ
Posted in:


0 comments for "දුව නිළියක් වෙනවට මම කැමැති නෑ... - කාංචනා මෙන්ඩිස්"
Leave a reply