ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අනුර ඇසූ ඩුබායි ගිණුමේ විස්තර රාජිත යට ගසයිද?

පසුගිය 27 වන දින විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කරන ලද මෙරට ප‍්‍රභූන්ට අයත් ඩුබායි බැංකුවක තැන්පත් කර ඇතැයි කියන රුපියල් බිලියන ගණනක ගිණුම් සම්බන්ධයෙන් නිසි පිළිතුරු සැපයීම සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය බ‍්‍රහස්පතිදා පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ද මඟහැරියේය.

දිසානායක මහතා විසින් අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න කරනු ලැබුවේ රාජිත සේනාරත්න මහතා විසින් දිගින් දිගටම මාධ්‍යය හමුවේ මෙම ගිණුම් ගැන ප‍්‍රකාශ කරන බැවින් ඒ සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට දැන්විය යුතු බව අවධාරණය කරමිනි. ඊට පසු දින අදාළ පිළිතුර අගමැතිවරයා ප‍්‍රකාශ කරනු ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසුව ද අගමැතිවරයා ඊට පිළිතුරු දුන්නේ නැත. එදින පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ සම්බන්ධයෙන් සේනාරත්න මහතාගෙන් කළ විමසීමේ දී එම විමර්ශන කටයුතු ඇමෙරිකාවේ මධ්‍යම බැංකුවට බාර දී ඇති බවත් එම තොරතුරු ලබා ගැනීමේ ප‍්‍රමාදයක් ඇති බවත් ඔහු පැවැසීය.

නමුත් මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම ගිණුම් ගැන තොරතුරු ඔහු විසින් ප‍්‍රසිද්ධ කරන ලදී. පසුගිය 14 වන දා කැබිනට් තීරණ දැනුම්දීමේදී ද දේශපාලන ප‍්‍රභූ පවුලක සාමාජිකයකු හා එම පවුලේ සමීපතමයන් තිදෙනෙකු ඩුබාහි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුම් තුනක ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් පවතින බව හෙළි කළේය.

ඒ අනුව එක් සාමාජිකයකුගේ ගිණුමක ඩොලර් බිලියන 1.086ක මුදලක් ද මන්ත‍්‍රීවරයෙකුව සිටි ව්‍යාපාරිකයකුගේ ගිණුමක ඩොලර් මිලියන 500ක මුදලක් ද හිටපු ලේකම්වරයකු හා ආයතන සභාපතිවරයකුගේ බද්ධ ගිණුමක ඩොලර් බිලියන 1.8ක මුදලක් ද තැන්පතු ලෙස පවතින බව එහි දී හෙළිදරව් කරන ලදී. එසේම රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා රාජපක්ෂලා විසින් විදෙස් බැංකුවල සැඟවූ කෝටි 42,656ක් තමන් දෑසින් දුටුවේ යැයි ජනමාධ්‍ය හමුවේ කියා තිබුණි.

පෙර අවස්ථාවක විදේශ ඇමැති මංගල සමරවීර මහතා ද ඩුබායි ගිණුම් තිබෙන බව පවසා සිටි අතර නමුත් එම තොරතුරු විමර්ශනයටත් පෙර මාධ්‍යවලට ලැබී තිබීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සිය අසතුට පළ කර තිබුණු බවත් වාර්තා විය.



කෙසේ නමුත් මෙම මුදල් සම්බන්ධයෙන් කිසිවකු හෝ නිශ්චිත සාක්ෂි සහිතව හෙළි කරනු ලැබුවේ නැත. ඒ අනුව පසුගිය 27 වන දින අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ ප‍්‍රශ්න කළේය.

කෙසේ නමුත් අප වෙත වාර්තා වී ඇති තොරතුරුවලට අනුව මෙම ඩුබායි ගිණුම සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කර ගැනීමට ශ‍්‍රී ලංකාවට තිබූ අවස්ථාව මේ වන විට අහිමිව තිබේ. ඒ වෙනුවෙන් ගන්නා ලද දුර්වල ක‍්‍රියාමාර්ග හා රහසිගතව සිදු කළ යුතුව තිබූ විමර්ශන කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම හේතුවෙන් එම මුදල් ශ‍්‍රී ලංකාවට ලබා ගැනීම හෝ එම තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද අසීරු වී ඇත.

එමෙන්ම පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මේ ඩුබායි ගිණුම සම්බන්ධ තොරතුරු මෙන්ම තවත් අපරාධ පිළිබඳ ඇතැම් තොරතුරු විමර්ශනයට පෙර රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට හෙළිදරව් කිරීම නිසා අදාළ පරීක්ෂණ කණ්ඩායම් දැඩි අසීරුතාවන්ට පත් වූ බවය. රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධ සීසීටීවී කැමරා දර්ශන සම්බන්ධයෙන් නිශ්චිතව හෙළිදරව් කර ගැනීම සිදු වීමටත් පෙර තාජුඞීන් ඝාතනය කරන අයුරු කැමරාවල සටහන්ව තිබූ බව තමා දුටු බව සේනාරතන මහතා පැවසීය. එහෙත් එවැනි දර්ශන කිසිවක් මෙතෙක් හමු වී නැති බවත් ඊට යම් අවස්ථාවක් හෝ තිබුණේ නම් අදාළ අපරාධකරුවන්ට එම සාක්ෂි විනාශ කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම එමඟින් සිදු වූවා ද යන්න ගැන සැකයක් එම පරීක්ෂණ කණ්ඩායම්වලට ඇතිව තිබේ.

මෙම සැකය වඩාත් දැඩිව තිබෙන බව දේශපාලන නිරීක්ෂකයන්ගේ ද මතය වී තිබේ. එමෙන්ම රාජිත සේනාරත්න මහතාට එරෙහිව රාජපක්ෂ සමයේ සිටම එල්ල වූ නවුකා අටක හිමිකරුවකු වීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කිසිදු විභාගයක් සිදුව නොමැත. මේ සම්බන්ධයෙන් වත්මන් පාලන සමය තුළ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති නමුත් මේ දක්වා කිසිදු පියවරක් ගෙන ඇති බව වාර්තා නොවේ.

මෙවැනි චෝදනා එල්ල වූවෙක් හා කැබිනට් තීරණ මාධ්‍ය හමුවේ දී අසත්‍යය කරුණු ඉදිරිපත් කරන බවට දිගින් දිගටම චෝදනා එල්ල වූවෙක් තවදුරටත් කැබිනට් ප‍්‍රකාශක තනතුරේ තබා ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කිරීම ගැටලූ සහගත බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
 - සත්හඬ -

Posted in:

0 comments for "අනුර ඇසූ ඩුබායි ගිණුමේ විස්තර රාජිත යට ගසයිද? "

Leave a reply