ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

'එක්තරා පවුලක බලගතු දියණියක් හිටිය මේ පසුපස' - ගල් අඟුරු ටෙන්ඩරය ගැන චම්පික හෙළි කරයි.......ටිරාන් අලස් කියන්නෙ ගොල්ෆේස් පිට්ටනියට ගෙනත් නඩු අහන්න ඕන ත්‍රස්තවාදියෙක්

ටෝරියන් කියන්නෙ මහින්දගේ පුතා චන්ද්‍රිකාවක් යවපු සමාගම

ගල් අඟුරු ජාවාරම පිළිබඳව අතීතයේ සිටම අප කළ අරගලය දරාගන්න බැරිව දූෂිත රාජපක්ෂ නඩය නොයෙක් නොයෙක් අවතාර විටින් විට එවන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (14) ගල් අඟුරු ටෙන්ඩරයක් පිළිබඳ මාධ්‍ය මගින් සිදු කරනු ලැබූ අසත්‍ය ප්‍රචාරණයකට සහ වාසුදේව මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු ලබාදීම වෙනුවෙන් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ය.

අපට මඩ ප්‍රහාර එල්ල කිරීමට වාසුදේව අවතාරය එවල තිබුණට ඒවා ඵලක් නොවන බවත් ඒ අය දේශපාලන වශයෙන් දැන් අවලංගු  වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අද මේ මාධ්‍ය සාකච්ඡාව මා විසින් කැඳවූයේ ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් කරන ලද ප්‍රකාශයකුත්, ඊට ප්‍රථම සිලෝන් ටුඩේ පුවත්පත විසින් පළ කරන ලද ප්‍රවෘත්තියකිනුත් අපගේ කීර්ති නාමයට හානි කිරීමට ඉතාම නිර්ලජ්ජිත උත්සහයක් දරා තිබෙන නිසා.

වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරල තියෙනව, පසුගියදා ගල් අඟුරු ටෙන්ඩරයක් පිළිබඳව ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව එහි වග උත්තරකරුවා පාඨලී චම්පික රණවක බව. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ බොහොම පැහැදිළිව සඳහන් කර තිබෙනවා මෙම ප්‍රශ්න ගත ගල් අඟුරු ටෙන්ඩරය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරල තිබෙන්නේ 2015 සැප්තැම්බර් 22 බව. එසේ කැබිනට් මණ්ඩලය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කර තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගමන් කළේ.

2015 සැප්තැම්බර් 22 වනදා මම විදුලිබල ඇමති නෙමෙයි. ඒ බව හොඳින්ම දැනගෙන තමයි මේ වාසුදේව නානායක්කාර නොහොත් දූෂිත මහින්ද රාජපක්ෂ කල්ලියේ ප්‍රකාශකයෙන් මෙහෙම ප්‍රකාශ කරල තියෙන්නෙ. ඒ නිසා මාගේ නම සඳහන් කරමින් ප්‍රවෘත්ති පළ කළ සෑම මාධ්‍යයකින්ම මා ඉල්ලා සිටිනව මා ඒ අවස්ථාවේ විදුලිබල ඇමති නොවන නිසා ඒ සම්බන්ධව නිවැරදි කිරීමක් කරන්න කියල. එසේ නොකරන සෑම දෙනාටම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නව වාසුදේව නානායක්කාරටත් එක්ක.

මෙහි තිබෙන වැදගත් අනෙක් කාරණය වන්නේ, කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලන ලද ටෙන්ඩරය, ඒ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වෙච්ච නිසාත්, ඒ අවස්ථාවේදී ප්‍රසම්පාදන අභියාචනා කමිටුවට ගිහින් තිබුණු නිසාත්, එය ජනාධිපතිතුමා යටතේ තිබෙන නිසාත් මා විසින් ජනාධිපතිතුමාට 2015 අගොස්තු 13 වන දා මේ පිළිබඳව ලිපියක් යොමු කළා. එය මාගේ ෆේස්බුක් පිටුවේ තියෙනව. මේක කියවන්නේ නැතිව තමයි මේ රාජපක්ෂ කල්ලිය සහ ගල් අඟුරු මාෆියාව මේ චෝදනාව මට එල්ල කරල තියෙන්නේ.

මෙහි පැහැදිළිව මම අවසාන කරුණු තුනෙන් කියල තියෙනව ඒ අවස්ථාවේ භාරකාර ආණ්ඩුවේ ඇමති ලෙස ප්‍රසම්පාදන අභියාචනා කමිටුවේ යෝජනාව හැටියට මේ ටෙන්ඩරය අහෝසි කරන්න කියල. මේක තමයි අද උපරිමාධිකරණය කියල තියෙන්නෙත්. මම මේකට වග උත්තරකරුවෙක් නම් මේක අහෝසි කරන්න කියල යෝජනා කරනවද?

මම කියල තියෙනව මේකෙන් කිසිම ගල් අඟුරු හිගයක් ඇති වෙන්නේ නෑ, ඒ වගේම ගල් අඟුරු ඉතිහාසයේ මාෆියාවේ ඉතිහාසය ගැන කෙටි හැඳින්වීමක් මම අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරල තියෙනව. ඒ නිසා මෙම කරුණු ඉතාම බලගතු ලිඛිත කරුණු. මෙම ඇමති ධුරයේ ඒ කාල සීමාව තුළ මම නොසිටිය බව කවුරුත් දන්නව. ඒ වගේම මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් මගේ අවසාන නිර්දේශය මෙම ටෙන්ඩරය අහෝසි කරල නැවත කැඳවන්න කියන එක. මේකම තමයි උපරිමාධිකරණය අවසාන වශයෙන් කියල තියෙන්නෙත්.

ඒ වගේම විගණකාධිපතිතුමාගේ වාර්තාව. විගණකාධිපතිතුමා බලශක්ති අමාත්‍යාංශයෙන් තොරතුරු කැඳවීමක් කරල තියෙනව. ඒ සඳහා එතුමා ලංකා කෝල් කම්පැනිය සම්බන්ධයෙන් යම් යම් නිර්දේශ ඉදිරිපත් කරල තියෙනව. ඒ කිසිම අවස්ථාවක ලංකා කෝල් කම්පැනිය අයිති බලශක්ති අමාත්‍යාංශයේ මම හිටියෙ නෑ. ඒක ඒ අමාත්‍යංශයට අයිති වගකීමක්. ඒක ගැන එතුමන්ලා ක්‍රියාකරනවා ඇති එයට පිළිතුරු දෙන්න.

එතුමා ප්‍රකාශ කරල තියෙනව සංසන්දනයක් ඉදිරිපත් කරල රුපියල් මිලියන 1803 ක සාපේක්ෂ පාඩුවක් සිදුවෙච්ච බව. ඒ ගණන් හිලව් පිළිබඳ තත්ත්වය කෙසේ වෙතත් ඔහු කියනව මේ ක්ෂණික ටෙන්ඩර් ක්‍රමය මවිසින් තමයි යෝජනා කළේ. එහි වගකීම මම භාරගන්නව. 2015 ජූලි 23 තමයි ඒක කැබිනට් මණ්ඩලය අනුමත කළේ. මේ ක්ෂණික ටෙන්ඩර් ක්‍රමය නිසා තමයි මේ ලාභය ඇති වුණේ කියල. එතකොට ලංකා විදුලිබල මණ්ඩලයටත් රටටත් බිලියන 1803 ක් මේ විගණකාධිපතිතුමාගේ පූර්ව නිරීක්ෂණයට අනුව ලාභයක් සිද්ධ වෙලා තියෙනව නම් ඒකට වගකියන්නේ පාඨලී චම්පික රණවක වන මමයි. ඒ නිසා අපි කිසිම අවස්ථාවක ලංකා විදුලි බල මණ්ඩලයට පාඩුවක් වන දේවල් කරල නෑ. කෝටි ගණන් ලාභ සිදුවන දේවල් තමයි ඉතිහාසය පුරාවට අපි කරල තියෙන්නෙ.

වටාපිටාවේ සිටින අය කවර චෝදනා එල්ල කළත් මෙම ගල් අඟුරු මාෆියාව බිඳ දමන්න අපි ගත්ත ක්‍රියාමාර්ගය නිසා තමයි ගල් අඟුරු ක්ෂේත්‍රයේ, ගල් අඟුරු ප්‍රසම්පාදනය විධිමත් ක්‍රියාවලියක් බවට පත් වුණේ. ඒ වගේම මේකෙ පූර්වයකුත් තියෙනව. ඒ තමයි ඊට ප්‍රථම වක්‍රාකාරයෙන් මෙවැනි චෝදනාවක් මම ඇමති ධුරයෙන් වෙනත් ඇමති ධුරයකට 2013 පෙබරවාරි මාසේ ගිය විට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළා. ප්‍රකෝටි ගාණක් ගල් අඟුරු නිසා පාඩු වුණා කියල. එහිදීත් මම කතා කරල පෙන්නුව මම ඉඳිද්දී ගත්තු තීරණයක් නෙමෙයි, ටෝරියන් කියන සමාගමට මම එපා කියද්දි, මම ගන්න බෑ කියද්දි, නීතිපතිගේ අවසරය මත අරගෙන තමයි එහෙම වුණේ කියල. අපි ඒකට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ජූලි මාසේ මිලියන 460 ක් එම ආයතනයට දුන්න එතුමියගෙ කාලේ. ඒකට එතුමිය වරදකාරයෙක් කියල මම කියන්නෙ නෑ. කවුද මේ ටෝරියන්?

ටෝරියන් කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයගේ පුතා අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යවපු සමාගම. ඒකයි මේ ගල් අඟුරු එකේ ඇත්ත. ඔය මහලොකු නිර්දන පන්ති නායකයො විමසන්න ඕන ඒකයි. අදටත් ඒ ප්‍රශ්නය අපේ ෂිපින් කෝපරේෂන් එකට තියෙනව. නැව් සංස්ථාවට තියෙනව. ඒ පිළිබඳව නඩුවක් විභාගවෙන නිසා මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.

මෙම ප්‍රශ්නය අද ඊයේ ආරම්භ වූවක් නොවේ. මෙය 2009 සිට ගෙන ආ දෙයකි. මේ ගැන කාටත් කළින් රටට හෙළි කළේ මමයි. මා විසින් ආළපාළු ආර්ථිකය නමින් පොතක් ලිවුව. මේ පොතේ ගල් අඟුරු ජාවාරම රාජපක්ෂ පාලනය කරගෙන ගිය ආකාරය පිළිබඳව විධිමත් හෙළිදරව්වක් කරල තියෙනව. මේ පොත තමයි ලංකාවේ සිංහල පාඨකයට වැඩියෙන්ම විකිණිච්ච පොත. පිටපත් 40000 ක් නිකුත් වෙලා තියෙනව. එහි ඉතාම පැහැදිළිව ඔය ගණුදෙනුව ගැන සඳහන් කරල තියෙනව. මේ රටේ ඔඩිටර් ජෙනරල් දෙපාර්තමේන්තුවවත් ශ්‍රේෂඨාධිකරණයවත් කවුරුවත් කියන්න කලින් 2014 දෙසැම්බර් මාසේ තමයි මේක රටට හෙළිදරව් කළේ.

2009 තමයි මුල්ම ගල් අඟුරු ටෙන්ඩරය ලබා දුන්නේ. ඒ අවස්ථාවේ ඇමතිවරයා විධියට හිටියෙ ජෝන් සෙනෙවිරත්ත ඇමතිතුමා. එතුමාගේ මේකට කිසි සම්බන්ධයක් නෑ. ඒක තාක්ෂණික ක්‍රියාවලියකින්  සිද්ධ වෙන්නෙ. මුලින්ම තාක්ෂණික ඇගයීම් කමිටුව තියෙනව. ඊළඟට අමාත්‍ය මණ්ඩලය විසින් නම් කරපු ප්‍රසම්පාදන කමිටුව තියෙනව. ඒ දෙකේම ඉන්නෙ නිලධාරීන්. ඇමතිවරුන්ට කරන්න කාර්ය භාර්යයක් ඒකෙ නෑ. අමාත්‍යවරුන්ට ඒකට බලපෑම් කරන්නත් බෑ. ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් කාටහරි අසාධාරණයක් වුණා නම් ඒක ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට යනව. අභියාචනා මණ්ඩලය තීරණයක් ගත්තට පස්සෙ යම් කෙනෙකුට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවස්ථාවකුත් තියෙනව.

2009 ඉතාම වංචනිකව තමයි මේ ගල් අඟුරු ටෙන්ඩරය එවකට හිටපු ලේකම්වරයා විසින් මැදිහත්වෙලා ලබාදුන්නෙ. ඊට පස්සෙ 2012 මේ අපි කරන්න හැදුවම ඒකට ඉඩ දුන්නෙ නෑ. නොයෙක් කරුණු කාරණා පෙන්නල ඒක අවලංගු වෙන තත්වෙට පත්කළා. හැමදාම කළේ එකම උපක්‍රමය. ගල් අඟුරු බාන්න බැරි කාලයක් තියෙනව අප්‍රේල් මාසෙ ඉඳන් ඔක්තෝම්බර් මාසෙ දක්වා. ඒ කාලය තුළ ගල් අඟුරු හිඟයක් ඇති වෙන විධියට කටයුතු කරල පරණ ටෙන්ඩරයටම මේක ලබාදුන්න.

ගල් අඟුරු ගෙන්වීමට හිටපු නොබල් රිසෝසර්ස් සමාගම පිටිපස්සෙ කවුද හිටියෙ කියන එක කවුරුත් දන්න රහසක්. එක්තරා පවුලක බලගතු දියණියක් හිටිය මේ පසුපස. අද අපිට මඩ ගසන ඇතැම් මාධ්‍යවලට මුදල් සම්පාදනය වුණේ ගල් අඟුරු හරහා බව මම බොහොම පැහැදිළිව කියනවා. රාජපක්ෂ පවුලට සම්බන්ධ වී සිටී ඇතැම් රූපවාහිනී නාලිකා කරගෙන යන්න අරමුදල් සම්පාදනය වුනේ මේකෙන්ද කියන එක වහාම පරීක්ෂණයක් සිදුකළ යුතුයි.

වාසුදේව නානායක්කාර මහත්තය කියල තියෙනව පාර්ලිමේන්තු කමිටුවක් දාමු කියල. අපි අත් දෙකම උස්සල කියනව 2009 ඉඳන් ගෙන්වපු ගල් අඟුරු ගැන විමර්ශනය කරමු කියල. විවිධ මාධ්‍ය ආයතන වලට, විශේෂයෙන්ම රිවිර මාධ්‍ය ආයතනයට, ඒ වගේම CSN මාධ්‍ය ආයතනයට අරමුදල් සම්පාදනය කිරීම සඳහා මේ ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක පිළිබඳව ඒ හරහා සොයා බලමු. ඒ සඳහා අපි අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.

කොටියට සල්ලි දීල, කොටියගේ සල්ලි වලින් පත්තර ගහන ටිරාන් අලස්ගෙ සිලෝන් ටුඩේ පත්තරේ දාල තියෙනව Champika's Coal Deal කියල. මේකද මාධ්‍ය සදාචාරය?

ටිරාන් අලස් කියන්නෙ ගොල්ෆේස් පිට්ටනියට ගෙනත් නඩු අහන්න ඕන ත්‍රස්තවාදියෙක්. ඔහු තමයි ත්‍රස්තවාදීක්ට අරමුදල් සම්පාදනය කළේ මහින්ද රාජපක්ෂ යුගයේ. රාඩා ගණුදෙනුව. අද වෙනතුරු අත් අඩංගුවට අරගෙන නීතීය ක්‍රියාත්මක කළේ නෑ. නමුත් සිංගප්පූරුවෙදි අත්අඩංගුවට පත් වුණා. කිසිම පත්තරයක් මේක පළ කළේ නෑ. සන්ඩේ ටයිම්ස් පුවත්පත් විතරයි මේක පළ කළේ.

මම ටිරාන් අලස්ට එකක් කියනව. පත්තර වලින් තමුන් හැදුව කරූ ජයසූරිය විනාශ කරන්න, රනිල් වික්‍රමසිංහ මහත්තය විනාශ කරන්න, ඒ වගේම තවත් දේශපාලඥයන් බය කරල තමන්ගෙ සාක්කුවට ගන්න උත්සහ කළාට අපි එහෙම බය කරන්න බෑ. අපි ජනතාව සමඟයි කටයුතු කරන්නෙ. මඩ කොටින්ට අපි බය නෑ. යුක්තිය ඉටුවන තුරු අපි මේ අරගලය ගෙනයනවා. විශේෂයෙන්ම තුෂාර ගුණරත්නටත් මම මතක් කරන්න ඕන මාධ්‍ය පැසිස්ට්වාදය පත්තර හරහා කරන්න හදන්න එපා. සමාජයට වග කියන්න ලෑස්ති වෙන්න.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Posted in:

0 comments for "'එක්තරා පවුලක බලගතු දියණියක් හිටිය මේ පසුපස' - ගල් අඟුරු ටෙන්ඩරය ගැන චම්පික හෙළි කරයි.......ටිරාන් අලස් කියන්නෙ ගොල්ෆේස් පිට්ටනියට ගෙනත් නඩු අහන්න ඕන ත්‍රස්තවාදියෙක්"

Leave a reply