ස්වාධීන පොලිස් කොමිසමක් ස්ථාපිත කීරීම සඳහා එකා මෙන් නැගී සිටිමු
එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන අංශ ප්‍රධානී මංගල සමරවීර මහතා - නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය.මොණරාගල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා එම ප්‍රදේශයෙන් මාරු කර යැව්වේ වෙන කිසිවක් නිසා නොව, ප්‍රදේශයේ ඉන්නා ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ ඕනෑ එපාකම් සපුරන අතකොලුවක් නොවී, සැබෑ පොලිස් නිලධාරියෙකු ලෙස ස්වාධීනව ක්‍රියා කිරීම නිසා බව සුමේධා පී. ජයසේන අමාත්‍යවරිය ඉකුත්දා කර ඇති ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශයෙන් සක් සුදක් සේ පැහැදිලි වේ.
ඒ අනුව පෙනෙන්නේ, 'ධර්මද්වීපයක්' ලෙස ලෝක විරුදාවලියට ලක්ව තිබූ මේ රට තව දුරටත් එවැන්නක් නොව, නීතිය සහ සාධාරණත්වය ළඟ පාතකවත් නැති, කැලෑ නීතිය රජ කරන කාලකණ්නි රටක් බවට පත්ව තිබෙන බවයි.
අමාත්‍ය සුමේධා පී. ජයසේන මහත්මිය මාධ්‍යයට කරන ලද ප්‍රකාශයේ
සඳහන් වන්නේ, නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ චෝදනාව යටතේ පොලිස් අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් තිදෙනා අමාත්‍යවරියට අයත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අත් උදව් දෙන තිදෙනෙකු බවත්, ඔවුන් අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ දී අමාත්‍යවරිය පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් යම් සහනයක් ඉල්ලා සිටි බවත්, එහිදී අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි සටහන් තබා නැත්නම් සහනයක් ලබා දීමට පොලිස්පතිවරයා එකී අමාත්‍යවරියටපොරොන්දු වූ බවත් ය.
අමාත්‍යවරියගේ මෙම ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් වන අතර, එ මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියළු දෙනාටම සහතික කළ නීතියේ සමානතාව යන පදනම ගැන මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු ලෙස පොලිස්පතිවරයාගේ කල් ක්‍රියාවේ නීත්‍යානුකූලභාවය ගැන ද කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි ප්‍රශ්න රාශියක් මේ රටේ පුරවැසියන්ට මතු වේ. එසේම කිසිදු බියක් සැකක් නොමැතිව කළ මේ ප්‍රකාශයෙන්, නීති විරෝධී ක්‍රියාවක් කර පොලිස් අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු නිදහස් කරවා ගැනීමට ආණ්ඩුවේ ඇමතිවරුන්ට ඇති බලපුළුවන්කාරකමත්, ඒ ගැන ඇමතිවරුන් නිර්ලජ්ජිතව පුරසාරම් දෙඩුවද ඒ ගැන කිසිවක් කර කියා ගත නොහැකි ඛේදජනක තත්ත්වයකට පොලිසිය පත්ව ඇති ආකාරයත් මනාව පිළිබිඹු වේ.
කෙසේ වෙතත්, මෙම පිළිකුල් සහගත සිද්ධියේ අවාසනාවන්ත ගොදුර බවට පත්වූයේ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතායි. සත්‍යවශයෙන්ම ලතීෆ් මහතා මොණරාගල දිස්ත්‍රික්කය වසා පැතිර ඇති අපරාධ රැල්ලට එරෙහිව අභීතව කළ සටන් කළ වීරවරයෙක් වන අතර, ඒ නිසාම ඔහු ප්‍රදේශයේ ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයින්ට වහ කදුරු මෙන් තිත්ත විය. සුමේධා පී. ජයසේන අමාත්‍යවරිය කර ඇති ප්‍රකාශයෙන් වැඩිදුරටත් අනාවරණය වන්නේ දේශපාලඥයන්ට ඇහුම්කන් නොදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා විසින් මොණරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට සහ ස්ථානාධිපතිවරයාට කර තිබූ නියෝගය ගැන එතුමිය ඇතුළු ප්‍රදේශයේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ තිබූ අප්‍රසාදයයි. එබැවින්, මේ සියළු තාඩන, පීඩන සහ බලපෑම් හමුවේ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා ඉටු කළ මෙහෙය වෙනුවෙන් නීතිය සහ සාධාරණත්වය ගරු කරන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආචාරය පුද කර සිටිමු. එසේම ඔහු ප්‍රදර්ශනය කළ නිර්භීතකම සහ අධීනකම මේ රටේ නීතිය සහ සාධාරණත්වය වෙනුවෙන් කොන්ද කෙලින් තබා ක්‍රියා කිරීමට උවමනාවක් ඇති සියළුම පොලිස් නිලධාරීන්ට ආදර්ශයකි.
නිර්භීත පොලිස් නිලධාරීන්ගේ කොන්ද කඩා දමන්නට උත්සාහ කරන මේ ඇතිවී තිබෙන භයානක තත්ත්වය හමුවේ නීතිය සහ සාධාරණත්වය ගරු කරන සෑම පුරවැසියෙකුට මෙන්ම, පොලිස් දෙපාර්තමේන්තුවේ ආත්ම ගරුත්වය ගැන සැබෑ කැක්කුමක් ඇති සියළුම පොලිස් නිලධාරීන්ට ද විශාල වගකීමක් ඇත. ඒ සියළු පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ ගරුත්වය ආරක්ෂා කරනු පිණිස නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා වෙනුවෙන් අවස්ථාව ලද විට නිර්භීතව නැගී සිටීමත්, එසේම පටු දේශපාලන, ජාති, ආගම් භේද වලින් තොරව මේ රටේ නීතිය සහ සාධාරණත්වය යළි නඟා සිටුවීමේ අරමුණින් සියලු දෙනා ඒකරාශීවීමත් ය. එසේම ඉටු කළ යුතු තවත් වැදගත් මෙහෙවරක් වන්නේ, දේශපාලන අතකොළු බවට පත් නොවී, පලිගැනීම් මාරුවීම් වලට ගොදුරු නොවී, ස්වාධීනව නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ හැකි පොලිස් දෙපාර්තමේන්තුව ඇති කිරීම සඳහා වූ ස්වාධීන පොලිස් කොමිසමක් ස්ථාපිත කීරීම සඳහා එකා මෙන් නැගී සිට මේ ආණ්ඩුවට බල කිරීමයි.
මංගල සමරවීර පා. ම.
සන්නිවේදන අංශ ප්‍රධානී - එක්සත් ජාතික පක්ෂය
0 comments for "ස්වාධීන පොලිස් කොමිසමක් ස්ථාපිත කීරීම සඳහා එකා මෙන් නැගී සිටිමු"
Leave a reply