ශ්‍රී පාදයට නීති විරෝධී හෙලිකොප්ටර් අංගණයක්
වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත උල්ලංඝනය කරමින් ශ්‍රීපාද අඩවිය ස්වාභාවික රක්‍ෂිතයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගණයක් ඉදිකිරීමට සැලැසුම් කර ඇත. ශ්‍රී පාද මළුවට මීටර් පන්සියයක් පමණ පහළින් ඇහැළකණුව ප්‍රදේශයේ මේ අංගණය ඉදිකිරීමට සැලැසුම් කර ඇති අතර එමඟින් දැවැන්ත පරිසර හානියක් සිදුවන බව පරිසරවේදීහු පෙන්වා දෙති.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී පාදයට පැමිණීම සඳහා තාවකාලික පදනම යටතේ මේ අංගණය ඉදිකෙරෙන බව පැවැසුණද, අනාවරණය වන ආකාරයට මෙය ඉදිරියේදී ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලු සැලැසුම් මේ වනවිටත් සකස් කර අවසන්ය. පසුගිය 19 දා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති රැස්වීමකදී මේ සැලැසුම සම්බන්ධයෙන් මුල් වරට අනාවරණය වූ අතර ලබන 26දා කොළඹදී ද මීට අදාළ රැස්වීමක්
පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කෙළේ 2007 වසරේදී ස්වාභාවික රක්‍ෂිතයක් බවට පත්කරන ලද සමනල අඩවියේ භූමිය එළි කිරීම, කිසිදු ආකාරයක ඉදිකිරීම් කිරීම ඇතුළු හානිදායක ක්‍රියා මුළුමනින්ම තහනම් බවයි.
2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතේ 6 වැනි වගන්තියේ මේ පිළිබඳ පැහැදිලිව සඳහන් වන බවද ඒ මහතා අවධාරණය කෙළේය. යුනෙස්කෝ ආයතනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති ලංකාවේ දෙවැනි ලෝක උරුම වනාන්තර ප්‍රදේශයද මේ සමනල අඩවිය ස්වාභාවික රක්‍ෂිතයයි.
මේ පිළිබඳ අප කළ විමසීමකදී වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඩී. රත්නායක මහතා පැවැසුවේ තමන් මෙතෙක් එවැනි ඉදිකිරීමක් සම්බන්ධයෙන් නොදන්නා බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී පාද අඩවිය බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා පැවැසුවේ එවැනි හෙලිකොප්ටර් අංගණයක් ඉදිකිරීමේ අවශ්‍යතාවක් තිබුණද, ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවයි. ශ්‍රී පාද මළුවට කිලෝමීටරයක් පමණ පහළින් පිහිටි ආඩියාමළතැන්න ප්‍රදේශයේ එවැන්නක් ඉදිකිරීමට සුදුසු බිමක් පවතින බවත්, එහි පැතිරී ඇති ආක්‍රමණික ශාක විශේෂයක් විනාශ කිරීම සම්බන්ධයෙන් දැනටමත් පේරාදෙණිය උද්භිද විද්‍යා ආයතනයෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසීය.
Posted in:
ශ්‍රී පාදයට නීති විරෝධී හෙලිකොප්ටර් අංගණයක්
0 comments for "ශ්‍රී පාදයට නීති විරෝධී හෙලිකොප්ටර් අංගණයක්"
Leave a reply