ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මේ වතාවෙත් මං නිහඬ වෙන්නෙ නෑ - මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා


මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
ජිනීවා හි ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත, තානාපති

ජිනීවා නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමේ වෑයමක් තිබියදී, යුද බිමේ සිටි සෙන්පතියකු ලෙස හා වර්තමානයේ තානාපතිවරයකු ලෙස ඔහු එය දකින්නේ කෙසේද යන්න ගැනත්; රට වෙනුවෙන් ඉටුකරන කාර්යභාරය ගැනත්; ජිනීවා හි ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත, තානාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* මේ දිනවල ජිනීවා හිදී පැවැත්වෙන එ. ජා. මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ආන්දෝලනාත්මක බවක් නිර්මාණය කිරීමේ වෑයමක් තිබෙනවා. අද තානාපතිවරයකු හැටියටත්, එදා යුදබිමේ සිටි සෙන්පතියකු ලෙසත් ඔබ මේ කාරණය දකින්නෙ කොහොමද?

ඔය ආන්දෝලනාත්මකයි කියන වචනය කාටද අදාළ වෙන්නෙ? ශ්‍රී ලංකා
රජයට හෝ හමුදාවට නම් අදාළ නෑ. හැබැයි, එල්. ටී. ටී. ඊ. යට ගැතිකම් කරන, ඒ මත යැපෙන, එය තමන්ගේ ජීවන මාර්ගය කරගත් පුද්ගලයන්ට, ආයතනවලට හා සංවිධානවලට තමයි මේක ආන්දෝලනාත්මක වෙන්නෙ. මේ වගේ පුද්ගලයන්, සංවිධාන බිහිවෙලා, තමන්ගේ පැවැත්ම රඳා පවත්වා ගනිමින් ඉන්නෙ කොහේ හෝ රටක ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිකරගන්න පුළුවන්වීම මතයි.

එසේ නැත්නම් ඒ අයට පැවැත්මක් නෑ. ලෝක මට්ටමින් කතාබහට ලක්කළ හැකි මාතෘකා මොනවාද, ඔවුන් ඒවා ඔස්සේ යනවා. ඔවුන් ආන්දෝලනාත්මකයි කියන අයට ප්‍රතිවිරුද්ධ පැත්තට හේත්තු වෙලා, ඔක්ෂිජන් දීලා, ඔවුන් සිටවලා පිටුපසින් සිට මෙහෙයවමින් තමන්ගේ අභිමතාර්ථ ඉටුකර ගැනීම තමයි මේ අයගේ වුවමනාව. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් සහමුලින් උපුටා දමා අවසන්.

ලෝකයේ වෙනත් ප්‍රබල රටවල පවා මෙවැනි යුද ගැටුම් නිමා කෙරුණත් ආපසු පැය ගණනක් යද්දී බෝම්බ, තුවක්කු පත්තු වෙනවා. ඊට පස්සෙ ආයෙමත් ගැටුම්. 2009 මැයි 18 වැනිදා යුද්ධය නිමාකළාට පස්සෙ වසර 4 කට ආසන්න කාලයක් ගතවෙලත්, අදටත් එවැනි තත්ත්වයක් ඇති නොවූ එකම රට ශ්‍රී ලංකාවයි. එදා දිනාගත් සාමය අදත් එලෙසම තිබෙනවා. එදා එක්වරම යුද්ධය අවසන් වුණේ භූමියේ සිටි ත්‍රස්තවාදීන් ජීවිතක්‍ෂයට පත්වීමෙන් හා ආරක්‍ෂක හමුදාවන්ට යටත්වීමෙන්.

ඒ වෙද්දි එල්. ටී. ටී. ඊ. ය සතුව විශාල මුදලක් තිබුණා. එල්. ටී. ඊ. යත් එක්ක විවිධ සංවිධාන අන්තර්ජාතිකව ක්‍රියාත්මක වුණා. දෙමළ ඩයස්පෝරාවත් සිටියා. මේ අයට යුද්ධය මේ අන්දමින් නිමාවීම දරාගැනීමට අසීරුයි. ඔවුන්ගේ පැවැත්ම තිබුණේ ඒ අවිනිශ්චිත අස්ථාවර බව තුළයි. යුද්ධය අවසන් වෙද්දිත් කොළඹට ඇවිත් සිටි මරාගෙන මැරෙන ත්‍රස්තයන් යට ගියා. ඔවුන් දැනටත් කොහේ කොහේ හරි ජීවත් වෙනවා. යුද්ධය නිමාවීමත් සමඟ තමන් පාලනය කරන්න කෙනෙක් නැති නිසා හොඳ මාර්ගයට එන්න සිතපු අයත් ඇති. නැවත වරක් මියගිය ත්‍රස්තවාදයට පණ දෙන්න වෑයම් කරන අයගේ වුවමනාව එමඟින් තමන්ගේ පරමාර්ථ ඉෂ්ට කර ගැනීමයි.

* ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව යෝජනාවක් ගෙන එන බවට වාර්තා පළවී තිබෙනවා?

මම ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟයි කටයුතු කරන්නෙ, අමෙරිකාව සමඟම නෙවෙයි. ඔය විදිහේ යෝජනා කළිනුත් ගෙනාවා. මෙවරත් ගෙනෙන බව කියැවෙනවා. යුද්ධය අවසන් වූ දා පටන් ශ්‍රී ලංකාවේ විවිධ ජනකොටස් අතර සංහිඳියාව පවත්වා ගනිමින් ඉදිරියට යාමට රටක් හැටියට අපි කටයුතු කර තිබෙනවා. මේ වගේ යෝජනාවක් ගෙනෙන බව කියන්නේ අප එසේ කරමින් සිටියදී. මේ රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු සුදුසුම දේ තීරණය කිරීම හා එය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ කාර්යයක් මිස වෙනත් අයගේ වැඩක් නෙවෙයි.

අපේ දේවල් ගැන මොකක්ද වෙනත් අයට ඇති දැනුම? දැනුම තිබුණත් ඒ දැනුම අපට ගැළපෙයිද? ඒ අයගේ විසඳුම හොඳම විසඳුම් වෙනවාද? අනෙක තමයි ඒ අය කියන්නේ මේ නිර්මාණය වෙලා තියෙන සංහිඳියාව වැරැදි බවද? ඔය නොයෙක් මතිමතාන්තර ඉදිරිපත් වෙන්නෙ ඒ අයගේ දෘෂ්ටිකෝණවලින් බලා මිසක් අපේ රට ගැන අවබෝධයකින් නෙවෙයි. මේ අපේ රට. ඒ නිසා බාහිර බලවේගවලට අපේ ගමන්මඟ යටපත් කිරීමට ඉඩ නොතැබිය යුතුයි. ඔය උපදෙස්වලින් රටට හොඳක් වෙනවා නම් කමක් නෑ. හැබැයි, එහෙම නොවෙනවා නම් කියන කියන පලියට ඒවා කරන්න බෑ.

* ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනක ඉන්න බව කියන අමෙරිකාව ත්‍රස්තවාදය පරාජය කළ රටකට එරෙහිවීමේ පිළිවෙත තේරුම් කරගන්නෙ කොහොමද?

ඒ තමයි ඔවුන් දකින විදිහ. අපි දකින විදිහයි ඔවුන් දකින විදිහයි වෙනස්. ඔවුනුත් ස්වෛරී රාජ්‍යයක් නිසා ඔය දකින විදිහ වැරැදියි කියන්න අපට බෑ. අපි අපිට හරි කියල හිතෙන දේ කරද්දී ඒක වැරැදියි කියන්නත් ඔවුන්ට බෑ. කවදා හෝ දිනෙක අපි හරි කියල දැකපු මාර්ගය නිවැරදි බව අද අපි වැරැදියි කියන අයට තේරුම් ගන්න වෙයි.

* කලින් වතාවෙ වගේම මෙවරත් සී– 4 නාලිකාව මඟින් මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ වූ ඒවා බව කියමින් අසත්‍ය දර්ශන හා ඡායාරූප නිකුත් කර තිබෙනවා. කලින් වතාවෙ ඔබත් ඒවාට පිළිතුරු දුන්නා. දැන් මෙවරත් ඒ දේ සිදුවෙද්දි සටන් බිමේ සේනාංක මෙහෙයවූ හමුදා නිලධාරියකු හැටියට ඔබ මොකද කියන්නෙ?

යුද බිමේ අණ දුන් සේනාංකාධිපතිවරයෙක් හැටියට යුද්ධයේදී වුණ දේවල් අපි හරියට දැක්කා. යුද්ධයක් අවසන් වුණාම නොයෙක් දේවල් ඉදිරියට එන්න පුලුවන්. හැබැයි වුණේ මොකක්ද කියල අපි දැක්කා. කලින් වතාවෙ සී – 4 නාලිකාවෙ කැලම් මැක්‍රේට ඉන්න හිටින තැන අමතක වෙන්නට මං ඔය ගැන උත්තර දුන්නා. අන්තිමට ඔහුට හිටපු තැනින් එළියට යන හැටිත් අමතකයි. මේ වතාවෙත් මං නිහඬ නෑ. මොකද වෙන්නෙ කියල හොඳට බලාගෙන ඉන්නෙ. අවස්ථාව එනකල් ඉන්න.

* ත්‍රස්තවාදය පරාජය කර රට එක්සේසත් කිරීම සඳහා ඔබ සටන් බිමේදී උපරිමයෙන් දායක වුණා. දැන්, දූත මණ්ඩල මෙහෙවරේ යෙදෙමින් තවදුරටත් ඔබ රට වෙනුවෙන් ක්‍රියාකරනවා. මේ අලුත් භූමිකාව ගැන යමක් කිව හැකිද?

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මම තානාපතිවරයෙක් ලෙස වැඩ කරනවා. ජනාධිපතිතුමා රට වෙනුවෙන් මට රාජකාරියක් පවරලා රටින් පිටට යැව්වෙ මා කෙරෙහි විශ්වාසයකින්. හමුදාවෙ රාජකාරියටත් වඩා වැඩක් ගන්න කියල මං රටින් පිටට ඇරියා විතරක් නෙවෙයි, මාව තානාපතිවරයෙක් ලෙසත් පත් කළා. ඒ අනුව, මම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ රට වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. මෙතෙක් ශ්‍රී ලංකාව නියෝජනය විය යුතු සෑම තැනකම රට වෙනුවෙන් උපරිමය කළා. විශේෂයෙන් පසුගිය කාලයේ මාව එ. ජා. මහා මණ්ඩල යෝජනාවක් යටතේ මහලේකම් බැන් කී මූන් ගේ උපදේශක මණ්ඩලයටත් පත් කළා.

ඒ කියන්නෙ මං මගේ රාජකාරිය හරියට කළා, කියන එකයි. එ. ජා. සංවිධානය තුළ ලොව වැඩිම රටවල් ගණනක් එනම් 54 ක් නියෝජනය වෙන්නෙ ආසියා ශාන්තිකර කලාපයයි. මේ කලාපයේ නියෝජිතයා ලෙස මං පත්වුණා. එල්. ටී. ටී. ඊ. හිතවාදීන් හා ඩයස්පෝරාව මාව මේ තනතුරෙන් ඉවත් කරන්න සල්ලි කොපමණ විසිකළත් ඒක කරන්න බැරි වුණා. තවමත් මං මේ තනතුරෙන් ඉවත් කළා කියල ප්‍රචාර අරිනවා. හැබැයි දැන් මේ කතා කරන වෙලාව වෙනකොටත් මං එය දරනවා. මං මේ තනතුර දැරීම සුදුසුයි කියල දෙවන වරටත් තීරණය කිරීමෙන් පෙනෙන්නෙ අපි නිවැරදිව අපේ කාර්යභාරය ඉටුකර ඇති බවයි. තානාපතිවරයෙක් හැටියට ගතවූ කාලයේදී කරන්න ලැබුණු වැඩ කොටස ගැන මං සතුටු වෙනවා.

අවුරුදු 53 ක් තිස්සේ නිව්යෝර්ක්වල අපේ තානාපති කාර්යාලය පවත්වගෙන ගියේ කුලී ගොඩනැගිල්ලක. මේ ගැන කලිනුත් ඉල්ලීම් ඉදිරිපත් වුණත් ඒවා ඉටු වී තිබුණේ නෑ. එතැන 25 – 30 කටවත් රැස්වෙන්න පහසුකම් තිබුණේ නෑ. මං ගියාට පස්සෙ ජනාධිපතිතුමා මේ ගැන ඉල්ලීම් කළාම එතුමා අපට මේකට මුදල් වෙන්කර දුන්නා. මහ බැංකු අධිපතිතුමාත් ඒ සඳහා දායක වුණා. දැන් අපට අපේම කියල තැනක් තියෙන්නෙ ජනාධිපතිතුමා අපට මුදල් වෙන්කර දුන් නිසා. දැන් අපට නිව්යෝර්ක්වල එ. ජා. මූලස්ථානයට මීටර් 100 ක් පමණ සමීපව අපේ රටටම කියල තැනක් තියෙනවා.

100 කට වුණත් මෙතැන රැස්වීම් පහසුකම් තියෙනවා. උත්සව අවස්ථා සඳහා පහසුකම් තියෙනවා. කලින් වතාවක නිදහස් උත්සවයට අපේ රටෙන් නර්තන කණ්ඩායමක් ආ වෙලාවෙ ශාලා පහසුකම් සඳහා පැය 2 ට අපට විශාල මුදලක් ගෙවන්න වුණා. හැබැයි, දැන් ශත 5 ක් වියදම් නොකර අපට ඒවා කරගන්න පුලුවන්. ඒ නිසා මේ සඳහා වැය කළ මුදල ආයෝජනයක් ලෙස අප දකිනවා. කනිෂ්ඨම පුද්ගලයා දක්වා දැන් මෙතැන හොඳ කාර්යාල පසුබිමකුත් තියෙනවා. මේ වෙනුවෙන් ජනාධිපතිතුමාට ගෞරවය හිමිවෙනවා. මගේ තානාපති ජීවිතය තුළ මං කළ විශිෂ්ට රාජකාරියක් ලෙස මං මෙය දකිනවා.

* රටට අභියෝග එල්ල වෙනකොට රටට ආදරය කරන බලවේග ලෙස කවුරුත් එකට සිටගත යුතු වුණත් විපක්‍ෂ දේශපාලන පක්‍ෂ පවා ඒ වගකීමෙන් බැහැරයි. ඔබට මේ කාරණය දැනෙන්නෙ කොහොමද?

අපේ රටේ විතරක් නෙවෙයි, ඕනෑම රටක සමාජයක නොයෙක් අදහස්, මතවාද දරන අය සිටිනවා. එසේ සිටිය යුතුයි. ඒ විවිධත්වය හොඳයි. ඒ විදිහට දේශපාලනිකවත් බෙදීම් තියෙනවා. විවිධත්වයක් තියෙන කොට තමයි හොඳ නරක වුණත් හඳුනාගන්න පුලුවන්. හැබැයි, එකම කණ්ඩායමක් ලෙස එකට නැඟී සිටින්න ඕන වුණාම පෞද්ගලිකත්වය පෙරට දමා වෙන්ව නැගී සිටිනවා නම්, පොදු වුවමනාව මඟහරිනවා නම් ඒක සුදුසු නෑ. රට පිළිබඳ කාරණයේදී බෙදීම් අදාළ කර නොගත යුතුයි.

* රටට සතුරු බලවේග යුද්ධයට නායකත්වය දුන් දේශපාලන නායකත්වය හා හමුදා නායකයන්ට යුද අපරාධ චෝදනා ගෙන ඒමට වෑයම් කරද්දී, රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර පිළිබඳ හා යුදබිමේ සංවේදී මතක දෙස ඔබ ආපසු හැරී බලන්නේ කොහොමද?

සංවේදී අවස්ථා කොතෙකුත් තියෙනවා. වසර 29 ක් හමුදා නිලධාරියෙක් ලෙස රට වෙනුවෙනුත්, වසර 3 ක් තානාපතිවරයෙක් ලෙස රට වෙනුවෙනුත් වැඩ කරද්දී එවැනි අවස්ථා බොහොමයි. ඒ සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්නත් බෑ. මං ඉපදුන මේ පොළව වෙනුවෙන්, මාව මෙලොවට බිහිකළ දෙමව්පියන් වෙනුවෙන් කළ යුතු යුතුකම මං ඉටුකළා. අපි යුද්ධය අවසන් කරලා ජනාධිපතිතුමාට ඒ බව දැනුම් දෙන්න කියලා මං මගේ හමුදා ප්‍රධානියාට කතා කරල කිව්වා. ඒ දවස තමයි මගේ ජීවිතයේ ලස්සනම දවස. අපි නිවැරදි දේ කළා. ලබාගත් ජයග්‍රහණයට බාධාවක් වෙන්න ඉඩ තියන්නේ නෑ. කවදාහරි දවසක ත්‍රස්තවාදය පරදවා අප ලැබූ ජය ලෝකයම පිළිගන්නාතුරු බලා සිටිනවා.

සාකච්ඡා කළේ
ධම්මික සෙනෙවිරත්න / dinamina

Posted in:

0 comments for "මේ වතාවෙත් මං නිහඬ වෙන්නෙ නෑ - මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා "

Leave a reply