ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පිරිමි වෙස්‌ගෙන පොලිසිය සහ අධිකරණය රැවටූ කත රිමාන්ඩ්


තමන් පිරිමියකු බවට අධිකරණයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යෑවීමට උත්සාහ දැරූ කාන්තාවක්‌ මෙම මස 25 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරයේ තබන ලෙස හිඟුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවෙල මහතා 11දා දහවල් නියම කළේය.මෙලෙස රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඒ.එම්. චාන්දනි මැණිකේ නමැත්තියකි. ඇය අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම තැනැත්තිය ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු මිට දින කීපයකට පෙර බකමූණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නිධන්
හෑරීමේ සිද්ධියක සැකකරුවන් වශයෙනි. එහිදී පළමු සැකකරු ලෙස අධිකරණයට ඉදිරිපත් වූවේ ව්‍යාජ රංගනයේ යෙදුණු කාන්තාවකි. ඇය එහිදී ඒ. එම්. සම්පත් කුමාර නමින් පෙනී සිට ඇත.

මෙම තැනැත්තිය බන්ධනාගාරයට රැගෙන ගිය පසු ඇගේ හැසිරීම හා පෙනුම පිළිබඳ සැකකළ බන්ධනාගාර නිලධාරීන් අධිකරණයේ අවසරය මත ඇගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට හිඟුරක්‌ගොඩ දිසා වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ මෙතෙක්‌ කළක්‌ පිරිමි වෙසක්‌ගෙන රංගනයේ යෙදී ඇත්තේ කාන්තාවක බවයි.

මේ අනුව අදාළ සැකකාරිය ඇතුළු නිධන් හෑරූ බවට චෝදනා ලැබූ තැනැත්තන් 11දා  නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම නිසා එක්‌ අයෙකුට රුපියල් 25,000.00 බැගින් වූ දඩ නියම කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා පියවර ගත්තේය.

මෙහිදී පිරිමි වෙස්‌ගෙන අධිකරණය නොමග යෑවූ කාන්තාව චෝදනා දෙකක්‌ යටතේ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස යළි රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි. ඒ අන් අයෙකු ලෙස නීතිය ඉදිරියේ පෙනී සිටීම හා එසේ පෙනී සිටිමින් රජයේ නිලධාරීන් වන පොලිස්‌ නිලධාරීන්ට අසත්‍ය තොරතුරු සැපයීම යන චෝදනා යටතේය. බකමූණ පොලිසිය පැමිණිල්ල මෙහෙයවයි.

Posted in:

0 comments for "පිරිමි වෙස්‌ගෙන පොලිසිය සහ අධිකරණය රැවටූ කත රිමාන්ඩ්"

Leave a reply