ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඉනිමගක් සාදා‍ගත් සිරකරුවෙක් එය තාප්පයට තබා බන්ධනාගාරයෙන් පළා ගොස්


බෝගම්බර සිර ගෙදර පිහිටි වඩු කාර්මික අංශයෙන් ඉනිමගක් සාදා‍ගත් සිරකරුවෙක් එය තාප්පයට තබා බන්ධනාගාරයෙන් පළා ගොස් තිබේ. 26දා සවස සිරකරු පලා ගොස් ඇත.
මෙම තාප්පය අඩි 20 ක් පමණ උසින් යුක්තය. තාප්පයට ඉනිමග තබා එක් සිරකරුවෙක් ඉනිමග දිගේ උඩට නැග තාප්පයේ එල්ලී අනෙක් පැත්තට පැන පළා ගොස් තිබේ. එය දුටු තවත් සිරකරුවෙක් එම ඉනිමග දිගේ ඉහළ නගින්නට පටන් ගෙන ඇත. දෙවැනි සිරකරුවා පැන යන්නට සූදානම් වන ආකාරයට දුටු බන්ධනාගාර නියාමකවරයෙක් වහා දිව ගොස් ඉනිමග දිගේ නැග සිරකරුවා ග්‍රහණයට ගෙන කෑ ගසා තිබේ.
මේ නිසා එම සිරකරුවා පැන යාම වළක්වා ගෙන ඇති අතර ඔහුගෙන් අනාවරණය වූ කරුණු අනුව පළමුව තවත්
සිරකරුවෙක් පැන ගොස් ඇති බව දැන ගන්නට ලැබී ඇත.
මෙම සිරකරුවන් විසින් සාදා ඇති ඉනිමගේ දිග අඩි 14 ක් පමණ වන බව වාර්තා වේ. එතරම් දිග ඉනිමගක් බෝගම්බර වඩු මඩුවේ නිෂ්පාදනය වූයේ කෙසේදැයි යන්න බන්ධනාගාර අධිකාරිය පරික්ෂණයක් අරඹා තිබේ. බෝගම්බර සිරගෙදර බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ උග්‍ර හිඟයක් පවතින අතර එය වටා තිබෙන දැවැන්ත තාප්ප මුර කරනු ලබන්නේ සිරකරුවන් විසින් බව දැන ගන්නට තිබේ.
මෙම සිද්ධිය පිළිබඳ විමසීමට බෝගම්බර සිරගෙදර අධිකාරිවරයා වන ජයසිංහ සහ සහකාර බන්ධනාගාර අධිකාරි ලියනගේ යන මහත්වරුන් සම්බන්ධ කර ගන්නට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

Posted in:

0 comments for "ඉනිමගක් සාදා‍ගත් සිරකරුවෙක් එය තාප්පයට තබා බන්ධනාගාරයෙන් පළා ගොස් "

Leave a reply