ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දහසය වියැති දියණිය පෙම්වතා සමඟ එක්ව මව පියා‍ මැරූ හැටි


මඩකලපුව චෙන්කල් අඩි ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි ව්‍යාපාරික අඹු සැමි යුවලකගේ ගෙල කපා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන්ගේ දහසය හැවිරදි දියණියත් ඇගේ පෙම්වතා ඇතුළු පාසල් සිසුන් තිදෙනෙකුව එරාවුර් ‍පොලිසිය මගින් අවුරුදු දා (14) රාත්‍රියේදි අත්අඩංගුවට ගෙන තිබේ. චෙන්කල්අඩි විද්‍යාලයේ ඉගෙනුම ලබන සැකකරුවන් මෙම වසරේ අධ්‍යන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින වයස අවුරුදු පහලොවේ සහ දහසයේ අය බව ‍පොලිසිය කියයි.
පෙම් සම්බන්ධයට දෙමාපියන්ගේ අකමැත්ත සහ විරෝධය පලවීම හේතුවෙන් දියණිය විසින් සිය පෙම්වතාට දැනුම්දී දෙමාපියන්ව මරාදමා ඇතැයි විමර්ශන වලින් හෙළිවූයේ යැයි උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඝාතනයට
යොදාගත් වක් පිහියක්, කෙටේරි මිටක් ‍පොලිසිය විසින් මේ වන විට සොයාගෙන ඇති අතර මෙම ඝාතනය ඔවුන් සැළසුම්කර ඇත්තේ පාස‍ලේදි බවත් අනාවරණය වී තිබේ. ඇගිලි සලකුණු සටහන් වීම වැලැක්වීම සඳහා අත්ආවරණත්, පාදවලට මේසුත් දමා ගෙන මෙම ගාතනය ඔවුන් විසින් කර ඇතැයි ‍පොලිසිය කියයි. එම අත් ආවරණ සහ මේස් මෙන්ම ‍ලේ තැවුරුණු ඇදුම් කොටස්ද ‍පොලිසිය මේ වන විට සොයාගෙන තිබේ.
මෙම ද්විත්ව ඝාතනය 07 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිදුවී තිබිණි. හතලිස් හත් හැවරදි ශිවගුරු රගූ සහ හතලිස් දෙහැවරදි සුන්දරී මූර්ති යන දෙදෙනා එසේ ඝාතනයට ලක්විය. ඒ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ එරාවුර් ‍පොලිසිය විසින් සිදුකළේය. ඒ අතර ‍පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර ‍පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත විශේෂ ‍පොලිස් කණ්ඩායමක්ද එම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට මඩකලපුවට ගියේය.
මේ ව්‍යාපාරික යුවලට දරුවන් දෙදෙනෙකි. දෙදෙනාම ගැහැණු දරුවන් බව ‍පොලිසිය කියයි. සිය පියාගේ මහ ගෙදර වැඩිමල් දියණිය නැවතී සිටින අතර එම නිවස පිහිටා ඇත්තේ ද ඝාතනය සිදුවූ නිවස ආසන්නයේමය. දහසය හැවරදි බාල දියණිය සිටින්නේ මවුපියන් සමග බවත් ඇය චෙන්කල්අඩි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බවත් ‍පොලිසිය කියයි. ඝාතනය සිදුවන විට නිවසේ සිට ඇත්තේ දෙමාපියන් සමග ඇය පමණක් බවත් ඇයට කිසිදු හානියක් නොවී දෙමාපියන් පමණක් ඝාතනය වීම කෙරෙහි මුල සිටම ඇය කෙරෙහි සැකයෙන් සිටි බව ‍පොලිසිය කියයි. ඇය පෙම්වතුන් රාශියක් ඇසුරකරන තැනැත්තියක් බවටද ‍පොලිසියට තොරතුරු ලැබිම හේතුවෙන් සැකය වඩාත් ත්‍රීව්‍ර වූ බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළ්ය.
එබැවින් ඇය සම්බන්ධයෙන් සහ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට නැගෙනහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ඔහු යටතේ ඇති ‍පොලිස් බුද්ධි අංශ සාමාජික කණ්ඩායමක් පත්කර ඇති අතර ඝාතන තොරතුර ලැබි ඇත්තේ එම කණ්ඩායමේ සාමාජිකයෙකුට බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මඩකලපුව කරදියනාරුහී කිතුල ප්‍රදේශයේ පදිංචි පහලොස් හැවරදි වියැති පාසල් සිසුවෙක් එම ද්විත්ව ඝාතනයෙන් පසු නිවසින් එළියට බසින්නේ නැතිව සිටි බවත් ඔහුගේ අතේ තුවාලයක් තිබෙන බවත් ඔහු මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වඩාත් අවධානයෙන් සිටින බවත් එම තොරතුරෙන් කියැ වී ඇතැයි ‍පොලිස් තොරතුරු අනාවරණය කරයි. එම සිසුවා ඉකුත් 13 වනිදා අසල් වාසී තරුණයෙකුගෙන් “මළ ගෙවල් පැත්තේ මොකද වෙන්නේ. මොනවද මිනිස්සු කථාවෙන්නේ. යනුවෙන් විමසා මගේ අත හැපුවනේ. ඒකයි මම මිටෙන් ගැහුවේ. අපි තුන්දෙනෙක් වැඩේට ගියා. අපි ඇතුලට යනකොටම අහැරිලා එකෙක් කෑ ගැහුවා. අතින් කට වැහුවම අත හැපුවනේ” යැයිද පවසා ඇතැයි ‍පොලිසිය කියයි.
මේ කථාව කියා ඇති සිසුවා ද චෙන්කල්අඩි විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන අයෙකි. නිලක්ෂන් නැමැති ඔහු ඊරෝස් සංවිධානයේ මඩකලපුවේ ප්‍රබලයෙක් වූ ගනේෂ් නැමැත්තාගේ පුතාය. ‍ලේ තැවුරුණු ඇදුම් වලදැමූ බවද ඔහු ඒ අතර එම තරුණයාට පවසා ඇතැයි ‍පොලිසිය කියයි.
මෙම තොරතුර එම තරුණයා ඔහුට හිතවත් තවත් අයෙකුට පවසා ඇති අතර ‍පොලිස් බුද්ධි අංශයට ඒ බව පවසා ඇත්තේ ඔහුය.
ඒම බුද්ධි නිලධාරියා ඒ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම්දී ඇත. එහිදී ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එම සිසුවාව අත්අඩංගුවට ගන්නැයි මඩකලපුව ‍පොලිස් අධිකාරී අජන්ත සමරකෝන්, සහකාර ‍පොලිස් අධිකාරීවරුන් වන මෙවන් සිල්වා, ලාල් සෙනෙවිරත්න සහ ආනන්ද රත්නසූරිය යන මහත්වරුන්ට නියෝගකරමින් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට ‍පොලිස් විශේෂ කාර්ය බලකායේ 25 දෙනෙකුගේ කණ්ඩායමක්ද ලබා දී ඇත.
ඒ අනුව අවුරුදු දා (14) රාත්‍රියේදි සැකකාර සිසුවාව අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදි ද්විත්ව ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව ‍පොලිසිය කියයි. ඒ අනුව මෙම ද්විත්ව ඝාතන සැළසුම්කරු ඝාතනයට ලක්වූ අඹුසැමි යුවලගේ බාල දියණීයගේ පෙම්වතාය. ඔහුද ඇගේ 06 වෙනි පෙම්වතාය. දෙදෙනා පෙම්වතුන් වී ඇත්තේද මෙයට මාස 07 කට පමණ පෙරය. ඇය සිය පෙම්වතුන් හය දෙනාට කථාකරන්නට සිම් කාඩ්පත් 06ක් භාවිතා කරණ අතර එක පෙම්වතෙකුට ලබා දී ඇත්තේ එක් අංකයක් පමණක් බවද හෙළිවී ඇත.
ඇය පෙම්වතුන් රැසක් ඇසුරු කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් ඇයට නිතර දොස් නගමින් අවවාද කර ඇති අතර එයට උරණ වූ ඇය සිය 06 වෙනි පෙම්වතාට පවසා ඇත්තේ දෙමාපියන්ගෙන් තමාට කරදර බැවින් ඊට යමක් කළයුතු බවය.
අජේන් නැමැති එම පෙම්වතාද ඇය සමග චෙන්කල් අඩි විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන්නෙක් වන අතර ඔහු සැළසුම්කරන්නේ ඇගේ දෙමාපියන්ව ඝාතනය කරන්නටය. පාසල් කාලයේදි සතියක් පුරාවට ඔහු ඒ සැළසුම සකස් කරන්නේ නිලක්ෂ සමග එක්වය. පොලිසිය පවසන්නේ අජේන් නැමැත්තාගේ නිවස පිහිටා ඇත්තේද චෙන්කල්අඩි ප්‍රදේශයේ බවය. ඔහුගේ පියා විදෙස් රැකියාවක නිරතව සිටින අතර වැඩිමහල් සහෝදරිය නිවැසියන්ගේ විරෝදතා මත විවාහයක්නකරගෙන වෙනම පදිංචිව සිටින්නීය.
සැළසුමට අනුව අජේන් ඉකුත් 05 වෙනි සිකුරාදා මඩකලපුව රෝහලට ගොස් රාත්‍රියට පාඩම්කරන්නට පෙලඹී ඇති නිසා නින්ද නොයන බව වෛද්‍යවරයෙකුට පවසා නිදි පෙති ලබාගෙන ඇති බව ‍පොලිසිය කියයි. නිලක්ෂන්ද එරාවුර් රෝහලට ගොස් එසේම පවසා නිදිපෙති ලබාගෙන ඇත.එහිදී ඔහු රෝහලට ලබාදී ඇත්තේ ව්‍යාජ නමකි. මේ දෙදෙනා එසේ නිදිපෙති 20 ක් ලබාගෙන ඇතැයිද ‍පොලිසිය කියයි.
උපකාරක පන්ති යනවා යැයි පවසමින් සිකුරාදා කරදියනාරු නිවසින් පැමිණෙන නිලක්ෂන් එදිනත් පසුදිනත් රැය පහන් කරන්නේ අජේන්ගේ නිවසේය. ඔහු සිය දෙමාපියන්ට පවසන්නේ කරදියනාරුවෙත් පැමිණෙන බස් රථය මගහැරුනු බවය. සැළසුම ක්‍රියාත්මක කරන්නේ 07 වෙනිදාය.
එදින සවස ව්‍යාපාරික යුවල සිය චෙන්කල්අඩි නගරයේ පිහිටි සිය ව්‍යාපාරික ස්ථානය වේලාසනින් වසා දමන්නේ අවුරුද්දට දියණියට ඇදුම් මිලටගන්නටත් නිවසට අවශ්‍ය අඩුපාඩු ගන්නටත් මඩකලපුවට යන්නටය. මේ ගමන කල්තියාම දියණිය දැනසිට ඒ බව අජේන්ට පවසා ඇතැයි ‍පොලිසිය කියයි.
එදා ඔවුන් නිවසින් යන්නේ රාත්‍රි ආහාරය පිළියල කරය. ‍පොලිසිය පවසන්නේ සවස 5.30 ට පමණ ඔවුන් නිවසින් පිටත්ව යන බවය. ඒ යන අතර ඔවුන් ගමන්ගත් ඇය වෑන් රථයේ පිටුපස අසුනේ සිටිමින් අජේන්ට දුරකථන ඇමතුමක් දෙමින් නිවසින් තමන් පිටත්වූ බවත් නිවසේ කිසිවෙකුත් නැති බවත් පවසා නිවසේ යතුර සගවා ඇති තැන පවසා තිබෙන බව ‍පොලිසිය කියයි.
ඒ අනුව අජේන් සහ නිලක්ෂන් එම නිවසට රිංගා පැරසිටමෝල් පෙති සමග නිදිපෙති එකට කොටා පිස තිබුණු ආහාර වලට එක්කර ඇතැයි ‍පොලිසිය කියයි.
මඩකලපුගිය නිවැසියන් නැවත නිවසට පැමිණ ඇත්තේ රාත්‍රි 7.00 පමනය. ඒ පැමිණි විට ඇය අජේන්ට කෙටිපණිවිඩයක් යවන්නේ නිවසට පැමිණි බවය. ඊළග පනිවිඩය යවන්නේ රාත්‍රි 9.00 පමණය ඒ නිවැසියන් ආහාර ගන්නා බව දැනුම් දීමටය. එහිදී මව ආහාර ගත්තද තිත්ත රසයක් ආහාරවල ඇතිවූ බැවින් පියා අඩක් පමණක් ආහාර ගෙන නිවස කිට්ටුව හෝටලයකින් රාත්‍රි ආහාරය ගෙන ඇති බව සදහන්ය.නිදි පෙති මිශ්‍ර අහාර ගැනීමෙන් මුලින්ම නින්දට යන්නේ මවය. ඒ රාත්‍රි 9.30 ට පමණය. අනතුරුව නින්දට යන්නේ පියාය. ඒ මදවේලාවකට පසුවය. ‍පොලිසිය පවසන්නේ ඒ කාලය තුල පමණක් කෙටි පණීවිඩ 16 ක් ඇය සිය පෙම්වතාට යවා ඇති බවය. ඒ නිවසේ තත්වය පිළිබදවය. අවසාන පණිවිඩිය රාත්‍රි 11.30 ට යැවෙන්නනේ සියළු දෙනා නින්දට ගොස් ඇති බව දැනුම් දෙමිණි.
එ අනුව අජේන්ගේ නිවසේ සිට නිලක්ෂන් සහ අජේන් පැමිනේන්නේ කල්තියා අජේන් සූදානම්කරගෙන සිටි අත්වැසුම්, පාදවලට දමන මේස් ද වක්පිහියක් සහ කෙටේරියක මිටක් රැගෙනය. ඊට අමතරව වෙස්මුහුණු තුනක්ද ඔවුන් සතුව තිබි ඇත. ඒ සියල්ල පාසල් ‍පොත් බෑගයේ සගවාගෙන ඔවුන් ඒ එන අතර තුර චෙන්කල්අඩි නගරයේ පදිංචිව සිටින තවත් පාසල් මිතුරෙකුගේ ගෙදරකට ගියේය. ‍පොලිසිය පවසන්නේ ඔහු සුබාන් බවය.
සිය මිතුරෙකුගේ සහෝදරියකගේ විවාහ උත්සවයක සැරසිලි කරන්නටයැයි පවසමින් සුබාන්ගේ දෙමාපියන්ට බොරු කියමින් සුබාන්ව නිවසන් පිටකට ගෙන ඔවුන් තිදෙනාම ව්‍යාපාරික යුවල ඝාතනය කරන්නට ගොස් ඇතැයි ‍පොලිසිය කියයි.
ඒ ගිය ඔවුන්ව මුළුතැන්ගෙයි පැත්තේ දොර විවරකර නිවස තුළට ගන්නේ ඇය බවත් ඇගේ දෙමාපියන් නිදා සිටින කාමරය පෙන්වන්නේ ද ඇය විසින් බවත් ‍පොලිසිය කියයි. ඒ අනුව කාමරයට යන සිසුන් තිදෙනා මුලින්ම ඇගේ මවගේ ගෙල කපා මරා දමන බවත් දෙවැනියට පියාගේ ගෙල කපන්නට යන අවස්ථාවේදි නිදි පෙති මිශ්‍ර ආහාර නොගෙන සිටි පියාට ඇහැරී කෑ ගසන විට නිලකෂන් ඔහුගේ කට තදකර අතින් මිරිකාගෙන සිට ඇති බවත් ‍පොලිසිය කියයි. එහිදී පියා ඔහුගේ අත හපා ඇත. නිලක්ෂන්ගේ අත එහිදී තුවාලවන අතර ඒ වේදනාවෙන්ම ඔහු පියාට කෙටේරි ‍පොල්ලෙන් පහරදී අඩපනකර ඝාතනය කර ඇති බවත් ‍පොලිසිය කියයි.
මෙහිදී අසල නිවසක පදිංචිව සිටින විශ්‍රාමික ගුරුවරයෙක් වන ව්‍යාපාරිකයාගේ පියා ඒ ගැන විපරම්කරන විට ඉදිරිපස දොර විවරකර ඔවුන්ට පැනයාමට ඇය ඉඩසලසා කිසිවක් නොදන්නා අයෙක් ලෙස හැසිරී ඇතැයි ‍පොලිසිය කියයි.
පෙම්වතියක් හේතුවෙන් එසේ ද්විත්ව ඝාතයක්කර පළායන අතර ඔවුන් පිහිය සහ කෙටේරි මිටත්, අත් වැසුම් සහ මේස් කිහිපයකුත් අතරමග වේවැල් ගොල්ලකට විසිකර ඇතැයිද ‍පොලිසිය කියයි. එම වේවැල් ගොල්ල පරීක්ෂාකර එම භාණ්ඩ සොයාගත් බවද ‍පොලිසිය කියයි. ඔවුන් එදින රැය අජේන්ගේ නිවසේ ගතකර ‍ලේ තැවුරු ඇදුම් අලුයම 1.30 ට පමණ ඉතිරි අත්වැසුම් සහ මේස් ද වෙස් මුහුණුද ගෙවත්තේ වලදමා නින්දටගොස් තිබේ. නිලක්ෂන් සහ සුබාන් 08 වෙනි සදුදා උදෑසන තමන්ගේ නිවෙස්වලට යන අතර වලදැමූ ඇදුම් නැවත ගොඩගත් අජේන් ඒවා නිවස අසල ඉදිකරමින් යන ගොඩනැගිල්ලක් තුළ දමා ගිනි තබා ඇතැයිද ‍පොලිසිය කියයි. එසේ ගිනිතැබූ ඇදුම් කොටස්ද හමුවූයේයැයි ‍පොලිසිය කියයි.
මෙම තොරතුරු හෙලිකරගන්නට පෙර නිලක්ෂන් ප්‍රශ්න කිරීම් හමුවේ ‍පොලිස් නිලධාරින්ට පවසන්නේ සිය අත තුවාල වන්නේ දොරකට හසුවී ඇති බවය. නමුත් මේ සියල්ල හෙළිවන්නේ ඒ සම්බන්දයෙන් දීර්ඝලෙස කෙරුණු ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් බව ‍පොලිසිය කියයි. ඒ අනුව අජේන් සහ සුබාන් යන දෙදෙනාත් අජේන්ගේ පෙම්වතිය වූ ඝාතනයට ලක්වූ අඹු සැමි යුවලගේ දියණීයත් අත්අඩංගුවට ගැණුනු බවත් ප්‍රශ්න කිරීම් කෙරෙන්නේ එරාවුර් ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ගොඩකුඹුර ඇතුළු ‍පොලිස් කණ්ඩායමක් විසින් බවත් උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

Posted in:

0 comments for "දහසය වියැති දියණිය පෙම්වතා සමඟ එක්ව මව පියා‍ මැරූ හැටි "

Leave a reply