ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඒඩ්ස් රෝගීන්ගේ වාර්තා වීම වාර්ෂිකව ඉහළ යාම හේතුවෙන් රෝගය වසංගතයක් දක්වා පැතිර යාමේ අවදානමක්

ඒඩ්ස් රෝගීන්ගේ වාර්තා වීම වාර්ෂිකව ඉහළ යාම හේතුවෙන් රට පුරා රෝගය වසංගතයක් දක්වා පැතිර යාමේ අවදානමක් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.

මේ වසරේදී පළමු කාර්තුව සඳහා රෝගීන් 44 දෙනකු වාර්තා වී ඇති බවත් එය පසුගිය වසරේ පළමු කාර්තුවට වඩා හතරදෙනකුගේ වැඩි වීමක් බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසුවේය.

මේ වසරේදී පළමු කාර්තුවට අයත් ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවලදී එච්.අයි.වී.ඒඩ්ස් රෝගය ආසාදනය වූ පුද්ගලයන් 9 දෙනකු මරණයට පත් වූ බව ද ඒ මහතා කීය. පසුගිය
වසරේදී ඒඩ්ස් රෝගීන් 186 දෙනකු වාර්තා වී ඇති අතර වසර 1980 සිට මේ දක්වා රට පුරා රෝගීන් 1693 දෙනකු වාර්තා වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

වසර 1980 සිට මේ දක්වා රෝගීන් 292 ක් මරණයට පත්ව ඇත. මවගෙන් දරුවාට රෝගය වැළඳුණු දරුවන් 60 දෙනකු ද වාර්තා වී තිබේ. රෝගය වැළඳුණු 1693 දෙනාගෙන් 1010 ක් පිරිමි පුද්ගලයන් වන අතර 683 දෙනකු කාන්තාවන් වේ.

එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය ශරීරගත වූ පුද්ගලයන් 5000 ක් පමණ රට පුරා සිටින බවට ඇස්තමේන්තු කර තිබුණත් ඊට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වීම ගැටලුකාරී බවත් රෝගය පිළිබඳ නොදැනුවත්කම සහ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් නිසා රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් වෛද්‍ය ලියනගේ මහතා පැවැසීය.

වෛරසය ශරීරගත වී වසර දහයක් පමණ ගත වන තෙක් ඇතැම් විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු වීම හේතුවෙන් පුද්ගලයාගේ ජීවිතය අවදානමකට ලක්වන බවත් ඒ මහතා කීය.

ලිංගික වෘත්තියේ යෙදෙන්නන්, එන්නත් මඟින් මත්ද්‍රව්‍ය විද ගන්නන්, පිරිමි සමලිංගිකයන් රෝගය ව්‍යාප්ත වීමේ අවදානම් කණ්ඩායම් ලෙස හඳුනාගෙන තිබේ. අලුතින් වාර්තා වන රෝගීන් බිංදුව දක්වා අඩු කර ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉලක්කය වන අතර ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ඉලක්කය ද එය වන බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කළේය.

Posted in:

0 comments for "ඒඩ්ස් රෝගීන්ගේ වාර්තා වීම වාර්ෂිකව ඉහළ යාම හේතුවෙන් රෝගය වසංගතයක් දක්වා පැතිර යාමේ අවදානමක්"

Leave a reply