පරිස්සමෙන්; ලිංගය අතුරුදන් විය හැකියි

මධ්‍යම අපි‍්‍රකානු සමූහාණ්ඩුවේ කුඩා නගරයක සංචාරයක නියැළෙමින් සිටි ලුයිසා ලොම්බාඩ් අමෙරිකාවේ කැලිෆෝනියා සරසවියේ මානව විද්‍යාඥවරියකි. දිනක් ඇය දුටුවේ විලාප දෙමින් කෑ ගසන පුරුෂයන් දෙදෙනෙකි. ඔවුන් උමතුවෙන් මෙන් කෑ ගසමින් කියා සිටියේ ශිෂ්ට ලෝකයට ආගන්තුක කතාවකි. එනම්, සිය පුරුෂ ලිංගේන්ද්‍රියන් සොරකම් කර ඇති බව ය. එම පුද්ගලයන් හිස්ටීරියාවෙන් පෙළෙන අය මෙන් කම්පනයෙන් උමතු වී සිටියහ. මේ හතරබීරි කතාවෙන් පුදුමයට පත් ලුයිසා එහි සුලමුල සොයා ගියාය. එහිදී ඇයට දැනගන්නට ලැබුණේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු තේ වෙළෙන්දකු බවයි.
එයට පෙර දිනයේ නගරයට පැමිණි විදේශික සංචාරකයෙක් ඔහුගෙන් රසවත් තේ කෝප්පයක් පානය කිරීමට පෙර ඔහු සමඟ අතට අත දී තිබේ. ඒ සමඟම අපි‍්‍රකානුවාට දැනී තිබෙන්නේ තමන් යම්කිසි කම්පනයකට හසුවූ බවයි.
සිය පුරුෂ ලිංගේන්ද්‍රිය ක්ෂණිකව හැකිළී නැති ව ගිය බව ඔහුට දැනුණේ ය. ඔහු මහ හඬින් විලාප දෙන්නට පටන් ගෙන තිබුණේ එයින් පසුව ය. එම විලාපයේ ප්‍රතිඵලයක් ලෙස මහ සෙනගක් සුළු වේලාවක් ඇතුළත එහි රැස්විය.
“මටත් ඔහොම වුණා” පිරිස අතර සිටි දෙවැන්නෙක් මහ හඬින් කෑ ගසා පවසා ඇත්තේ ඉන් පසුව ය. එයින් පසුව මුළු නගරයම ගිනි වැදුණාක් මෙන් විය.
සිය රට බලා පැමිණි පැසිෆික් ස්ටෑන්ඩර්ඩ් සඟරාවට විශේෂ ලිපියක් ලියමින් ලුයිසා ලොම්බාඩ් මේ අසාමාන්‍ය සංසිද්ධිය කුමක්දැයි විග්‍රහ කරන්නීය. ඇත්තෙන්ම නරක
විහිළුවක් සේ පෙනෙන එය බරපතළ මානසික සංකූලතාවයකි. කෝරෝ යනුවෙන් මේ තත්ත්වය හඳුන්වයි. කෝරෝ තත්ත්වයේ ගොදුරු බවට පත්වන්නේ බහුතර වශයෙන් පිරිමින් ය.
කාන්තාවෝද ඉඳහිට එයට ගොදුරු වෙති. මූලික වශයෙන්ම මෙහිදී සිදුවන්නේ සිය ප්‍රජනනේන්ද්‍රියන් ශරීරය තුළට හැකිළී යන බව හෝ ශරීරය තුළට ඇදී යන බව සංවේදනය වීමයි. එය බලපානු ලබන්නේ හුදෙක් ඔවුන්ගේ ලිංගිකත්වයට පමණක් නොව මුළු ජීවිතයටම ය. තමන් පෙර තත්ත්වයට පත් නොවුණහොත් ජීවත්වීමෙන් පලක් නැතැයි ඔවුහු සිතති. පළමු කාරණය වන්නේ එය ඔවුන්ගේ පිරිමි කමට නිගාවක් වීමයි. එයට අමතරව සිය ජීවිතයට එය තර්ජනයක් බව ද ඔවුහු සිතති.
එනිසා වහාම ඔවුන් ඒ සඳහා යමක් කළ යුතුය. ඔබ සිතන්නේ ඔවුන් කුමක් කරනු ඇතැයි කියාද? ලුයිසා ලොම්බාඩ් මානව විද්‍යාඥවරිය විසින් එක්රැස් කළ තොරතුරු අනුව මේ ඉරණමට මුහුණ දුන් පුරුෂයෝ යක්දෙස්සන් හමුවී ලෙඩය සුවපත් කර ගනිති. එහෙත් යක්දෙස්සන් ද සිටින්නේ දුර බැහැර ය.
එනිසා යාතුකර්මය සිදුකරන තෙක් ඔවුහු නිරුවතින් දඟලති. ඒ, ප්‍රජනනේන්ද්‍රියේ (ඉතිරි) කොටස් නූලකින් ගැටගසා පරිස්සම් කර ගැනීම සඳහා ය. ලෝහ පතුරුවලින් එය සිය ඇඳිවතට ඇඳා ගන්නා අය ද වෙති. “ඔබ විශ්වාස කළත් නැතත්, යකැදුරා එන තෙක් ලිංගේන්ද්‍රිය අල්ලා ගෙන සිටීම පවුලේ කෙනකුට භාර කළ ආතුරයන් ද සිටියා” යැයි ලුයිසා ලොම්බාඩ් පවසන්නීය.
අපි‍්‍රකාවට සියවස් ගණනාවක් මුළුල්ලේ අඳුරු මහද්වීපය කියා ව්‍යවහාර වේ. අඳුරු මහද්වීපයේ මෙබඳු සැඟවුණු අඳුරු කතාන්දර බොහෝ ය. එහෙත් නිරීක්ෂකයන් පවසන්නේ ගතවූ අපි‍්‍රකානු මහාද්වීපයේ කෝරෝ තත්ත්වයට පත්වූවන් පිළිබඳ වාර්තා ඉඳහිට ලැබුණත් ඒ සම්බන්ධයෙන් පෙරමුණේම සිටින්නේ අපි‍්‍රකාව බවයි. 2005 වර්ෂයේ පළවූ සංස්කෘතිය, වෛද්‍ය විද්‍යාව සහ මනෝ කායික විද්‍යාව“ ජර්නලයට ලිපියක් ලියමින් විවියන් සොකෝතෝ සහ ග්ලෙන් ඇඩම්ස් මෙසේ කියති.
“ගතවූ වසර කිහිපය තුළ සිය ලිංගේන්ද්‍රියන් අතුරුදන් වූ බව, ඒවා හැකිළී ගිය බව හෝ නොපෙනී ගිය බව කියමින් සන්ත්‍රාසයට පත්වූ පුද්ගලයන් පිළිබඳ අවස්ථා කිහිපයකදීම වාර්තා විය. සිය පියයුරු සිරුර තුළට හැකිළී ගිය බවට විලාප කියූ කාන්තාවන් පිළිබඳ ද වාර්තා ලැබුණේය.”
යකැදුරන් ට භාරවන මෙවැන්නන්ගේ ඉරණම හැමවිටම සුබදායී නොවේ. යකැදුරන් සිය යාතුකර්මවලදී ඔවුන් ගේ රෝගය සුවපත් කිරීමට උත්සාහ කරන්නේ බොහෝවිට ආතුරයාට හොඳහැටි තැළීම මඟිනි. සීමාව ඉක්මවා ගිය ඇතැම් අවස්ථාවන්හිදී ආතුරයන් මියගිය අවස්ථා ද වාර්තා විය. බටහිර අපි‍්‍රකානු රටවලින් වසරකට ප්‍රජනනේන්ද්‍රිය අතුරුදන් වීමේ අරුම පුදුම සිද්ධි 10ක් පමණ දළ වශයෙන් වාර්තා වෙයි.
කෝරෝ මානසික තත්ත්වයට ගොදුරු වූවන් විශ්වාස කරන්නේ ආගන්තුකයකු සමඟ ස්පර්ශ වූ විට හෝ ආගන්තුකයකු සිය ශරීරයේ අනපේක්ෂිත ව ඇතිල්ලුණු විට, ගැටකපන්නකු විසින් මුදල් පසුම්බිය ක්ෂණිකව සොරාගන්නා සේ සිය ප්‍රජනනේන්ද්‍රියන් ද ඔහු විසින් සොරාගනු ලබන බවයි. වරක් එක් දාහත් හැවිරිදි ඝානා තරුණයෙක් සිය පියා ද සමඟ දිය ගෙන එමින් සිටියේ ය. හදිසියේම ඔහු පිටුපසින් පැමිණි ආගන්තුකයෙක් ඔහු ව ස්පර්ශ කර ඇත. ඉන්පසු තමන්ගේ “පිරිමිකම නැත්තටම නැති වන තරමටම ශරීරය තුළ ගිලී ගිය බව“ ඔහු විලාප දෙමින් පැවසුවේය.
මේ ශෝචනීය රෝගී තත්ත්වය දාෂ්ටිකෝණ කිහිපයකින් අර්ථ දැක්විය හැකිය. මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයට අනුව එය හිස්ටීරියාවක් හෝ මායාවකි. එය අතීතයේ යම් දිනෙක එක් පුරුෂයකුට සැබෑවට හෝ බොරුවට දැනුණු දෙයක් හෝ අත්දැකීමක් ඇසුරෙන් ඔවුන්ගේ සංස්කෘතිය තුළින්ම මතුවූ සාමූහික මායාවක් විය හැකිය.
මෙය මායාවක් බව පැහැදිලි වන්නේ මේ තත්ත්වයට ගොදුරුවූවන් යාතුකර්මවලට ලක් කළ විට පැය කිහිපයක් හෝ දින කිහිපයක් ඇතුළත නැවත යථා තත්ත්වයට පත්වන නිසා ය. සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බලන විට මේ තත්ත්වය, සමාජයේ බහුතර ජනයාගේ සිත්වල ලැගුම්ගත් මායාවන්ගෙන් සියයට සියයක් මිදීමට කිසිදා හැකි නොවන බවට සාක්ෂියකි.
විචාරාත්මක චින්තනය මුල් බැසගත් බටහිර සංස්කෘතියෙන් මෙම තත්ත්වය පිළිබඳ වාර්තා නොවන්නේ ද එනිසා විය යුතුය. බ්ලැක් මැජික් වැනි මායාකර්ම වසංගත සේ පැතිර තිබෙන උප සහරා අපි‍්‍රකානු රටවල වැසියන්ගේ යටි සිත්වල ඒවායේ බලපෑම නින්නාද දෙයි. උප සහරා අපි‍්‍රකානු රටවල් 18 ක වැසියන් යොදාගෙන මෑතකදී කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළිවූ පරිදි ඔවුන්ගෙන් සියයට 55 ක්ම මායාකර්ම පිළිබඳ විශ්වාස කරති. යක්ෂ පිශාච බලවේගවලට සිය පිරිමිකම වුවත් නැති කරලීමට හැකි බවට වන කල්පිතය ඔවුන්ගේ ජීවිතවල අරක් ගන්නේ ඒ අනුව ය.
![]()
ඇසුරිනි සාගර විමලසේන
මේ දේ ගැන මම කලින් ලිපියක් ලිවුවා.බ්ලැක් මැජික් කරන මන්ත්‍ර කාරයෝ මේ වගේ දේවල් කරන්නේ තමන්ගේ ඇති බලය වර්ධනය කරගන්න.
ReplyDeleteඅප්‍රිකාවේ බෙනේ රාජ්‍යයේ තමා මේ ගුරුකම් වල උපත. මානසික අසනීපයක් වෙන්නත් පුළුවන්. නමුත් මේ රටවල විශ්වාස කල හැකි කුරුකම් සාස්තරයක් තිබෙනවා.