ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

විදුලිබිල වැඩි කිරීමේ රහස මේකයි

විදුලි බිල වැඩි කිරීමේ අරමුණ හෙට අනිද්දාට ශ්‍රී ලන්කන් ගුවන් සේවය නමින් කොමිස් මුදලාලිලා හරහා මිලදී ගැනීමට සූදානම් වන ගුවන් බස් දහයට වියදම් වන රුපියල් බිලියන 315ට වැඩි මුදල සහ සුදු අලියෙකු බවට පත්වී ඇති මත්තල ගුවන් තොටුපළට වියදම් වූ රුපියල් බිලියන 26.7ක මුදල වැඩ කරන ජනතාවගේ පඩි පතින් කොල්ලකෑම බව එජාප මහලේකම් තිස්ස අත්තනායක පවසයි.

එසේම ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා අයෙකු සේ මැයි දින වේදිකාවට ගොඩ වී, විදුලි බිල වැඩි කිරීම ගැන කිඹුල් කඳුළු හෙළුවද, එසේ විදුලි බිල 65% කින් වැඩි කිරීමට තීරණය කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලයම බවද ඔහු විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

වැඩි කළ විදුලි බිලෙන් සොච්චමක් අඩු කරන බව‍ට මෙවර
මැයි දිනයදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුවද, ඒ පොරොන්දුව පවා හුදෙක් වැඩකරන ජනතාව රැවටීමට පිණිස කියූ සුරංගනා කතාවක් පමණක් බව දැන් අනාවරණය වෙමින් පවතී. ජනාධිපතිතුමාගේ මැයි දින පොරොන්දුවට අනුව විදුලි ඒකක 60ට අඩුවෙන් පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙහි කිසිදු වැඩිවීමක් සිදු නොවන බවත්, ඒකක 60 සිට 180 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට සහනයක් ලබා දෙන බවටත් ප්‍රකාශ විය.

මෙම පොරොන්දුව සමග ජනාධිපතිවරයා කර ඇත්තේ විදුලි පරිභෝජනයේ මූලික ඒකක ගණන ඒකක 90 සිට ඒකක 60 දක්වා අඩු කිරීමයි.

විදුලි ඒකක 60 කින් දැල්විය හැක්කේ විදුලි බල්බ 2 ක් පමණකි. ඒ අනුව විදුලි ඉස්තිරික්කයක් හෝ රූපවාහිනි යන්ත්‍රයක් පාවිච්චි කළහොත් එම නිවස ඒකක 60 සීමාවෙන් ඉවත් වී ඒකක 90 සීමාවට තල්ලු වේ.

එහෙත්, ජනාධිපතිවරයාගේ යෝජිත සහනය අනුව ඒකක 90 ක් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයින්ගේ වැඩි කළ මිලෙහි කිසිදු අඩු වීමක් සිදු නොවේ.

විදුලි ඒකක 60 සිට 180 දක්වා වූ විදුලි පාරිභෝගිකයන්ට දෙනවා යයි කියන සහනය වැඩි කළ විදුලි ගාස්තුවේ අඩුවීමක් නොව, ඉන්ධන ගැලපුම් ගාස්තුවෙන් සියයට 25ක අඩු වීමක් පමණකි.

එහෙත් දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව මෙසේ යෝජිත සහන දෙකෙන් එකක්වත් ලබාදීමට කිසිදු ක්‍රමවේදයක් මේ වන තෙක් ලංකා විදුලි බල මණ්ඩලය මගින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර නැත. එබැවින් ජනාධිපතිතුමාගේ මැයි දින පොරොන්දුව හුදු හිස් ප්‍රලාඵයක් පමණක් වී තිබේ.

අනෙක් අතට මෙම මැයි දින සහන ප්‍රකාශයම ජනතාව නොමග යැවීමකි. ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා අයෙකු සේ මැයි දින වේදිකාවට ගොඩ වී, විදුලි බිල වැඩි කිරීම ගැන කිඹුල් කඳුළු හෙළුවද, එසේ විදුලි බිල 65% කින් වැඩි කිරීමට තීරණය කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලයයි.

එම අමාත්‍ය මණ්ඩලයේ, දැන් මුකුත් නොදන්නවා සේ රඟපාන වර්තමාන විදුලිබල අමාත්‍යතුමිය සහ හිටපු විදුලි බල අමාත්‍යවරයා සාමාජිකයින් වන අතර එය ආණ්ඩුව විසින් ගනු ලැබූ සාමූහික තීරණයකි.

එබැවින් ජනාධිපතිවරයා විසින් පොරොන්දු වූ සහනය වෙන කිසිවක් නොව, සිහි නැතිවන තරමට යමෙකුට පහර දී මරණාසන්නව වැතිර සිටින විට බොරුවට වතුර පොවනවා වැනි වැඩකි.

සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කළ යුතුව තිබුණේ වැඩ කරන ජනතාවගේ පඩි පතට “පික් පොකට්” නොගසා, කිසිසේත්ම විදුලි බිල තඹ සතයකින්වත් වැඩි නොකිරීමයි.

විදුලි බිල වැඩි නොකර සිටීමට ආණ්ඩුවට හැකි බව දැන් කාටත් රහසක් නොවේ.

ආණ්ඩුවේ විදුලි බිල වැඩි කිරීමේ අරමුණ වෙන කිසිවක් නොව හෙට අනිද්දාට ශ්‍රී ලන්කන් ගුවන් සේවය නමින් කොමිස් මුදලාලිලා හරහා මිලදී ගැනීමට සූදානම් වන ගුවන් බස් දහයට වියදම් වන රුපියල් බිලියන 315 කට වැඩි මුදල සහ සුදු අලියෙකු බවට මේ වන විටම පත්වී ඇති මත්තල ගුවන් තොටුපළට වියදම් වූ රුපියල් බිලියන 26.7 ක මුදල වැඩ කරන ජනතාවගේ පඩි පතින් කොල්ලා කා ගැනීමයි.

ශ්‍රී ලංකා ගුවන් සේවයට මිලදී ගන්නා ගුවන් බස් කොමිස් ගනුදෙනුව නිසා පමණක් සෑම ශ්‍රී ලාංකිකයෙකුම රුපියල් 18,000 ක් ණය වී තිබේ.

ඒ අනුව මෙම ණය ගනු දෙනු පියවීම සඳහා සෑම ගෘහස්ථ විදුලි බිලකින්ම සියයට 65 කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ මේ ණය මුදල විදුලි බිල හරහා ජනතාවගෙන් කොල්ලා කෑමටයි.

එබැවින්, වැඩ කරන ජනතාව ගැන හැබෑ කැක්කුමක් ඇත්නම් ජනාධිපතිවරයා විසින් කළ යුතුව ඇත්තේ විදුලි බිල වැඩි කිරීමේ ප්‍රශ්නයට බොරු පැලැස්තර නො අලවා වැඩි කළ විදුලි බිල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි.

තිස්ස අත්තනායක

මහලේකම් - එක්සත් ජාතික පක්ෂය

Posted in:

0 comments for "විදුලිබිල වැඩි කිරීමේ රහස මේකයි"

Leave a reply