ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

වීදුරු පෙරේතයා


ටොඩ් රොබින්ස් අමෙරිකාවේ නිව්යෝක් නුවර සන්දර්ශනකරුවෙක්. ඔහු වේදිකාවට පැමිණෙන්නේ දැල්වෙන විදුලි බුබුලක් සහිත මේස ලාම්පුවක් අතින් ගෙන.

මොහොතකින් ඔහු විදුලි බුබුල ගලවාගෙන එය මුවට ගෙන හපන්නට පටන් ගන්නවා. සංදර්ශන ශාලාවේ ඇසෙන්නේ වීදුරු කුඩු වෙන හඬ පමණයි.

ප්‍රේක්ෂකයන් ඇසි පිය නොහෙලා බලා හිඳිද්දී ටොඩ් විදුලි බුබුලේ වීදුරු කොටස් සම්පුර්ණයෙන්ම ආහාරයට ගෙන නිම කරනවා. “උණුසුම් කෑම වේලක අපූරුව!” ඉනික්බිති ඔහු හිනැහෙමින් පවසනවා.

ටොඩ් පළමු වරට වීදුරු හපන්නට පටන් ගත්තේ ඔහුට අවුරුදු 10 දී. කැලිෆෝනියාවේ ඔහු වාසය කළ නිවස අසල මැජික් සංදර්ශන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විකුණන වෙළඳසැලක් විවෘත කෙරුණා.

කුඩා ටොඩ් ගේ විනෝදාංශය වුයේ මෙහි නිතර දෙවේලේ ගැවසීම යි. මෙතැනට නිතර ආව ගිය එක මැජික්කරුවෙක් ටොඩ් ට අපූරු යෝජනාවක් කළා.



ඒ ඔහුගේ මැජික් සංදර්ශනවල සහකරු හැටියට කටයුතු කිරීමට ටොඩ් කැමති වන්නේ නම්, ඊට හිලව්වට ටොඩ් ට වීදුරු කෑමත් ,ගිනි පෑගීමත් ඉගැන්වීම.

මුලදී වීදුරු කෑම පුරුදු වීම ඉතා අසීරු වූ බව ටොඩ් පවසනවා. පුහුණු වෙද්දී ගිලීමට පහසු වෙන්නට ඔහු වීදුරු කුඩු කර ආහාරයට ගෙන තිබෙනවා.

එහෙත් කල් ගත වෙත්ම ඔහුගේ හැකියාව වැඩි දියුණු වී විදුලි බුබුළු, වීදුරු භාජන කෑම දක්වා වර්ධනය වුණාලු.

පසු කලෙක දී ඔහු ඔහුගේම සංදර්ශන පවත්වන්නට තරම් තම දස්කම් ඔප මට්ටම් කරගෙන තිබෙනවා .

“මේක භයානක නැහැ කියලා මම කියන්නේ නැහැ..” ටොඩ් සිනාසෙමින් පවසනවා. “ ඒත් හිතුවොත් හැම රස්සාවෙම මොකක් හරි භයානක කොටසක් තියෙනවානේ.

වීදුරු හපලා මේ වෙද්දී මගේ දත් කිහිපයකුත් කැඩිලා. වීදුරු කටුවලින් මගේ ආහාර මාර්ගයට කෙරෙන හානිය අවම කරගන්න මගේ ආහාර වේලට බෙහෙත් පැළෑටි වර්ග, තන්තු බහුල ආහාර හැකි තරම් එකතු කරගන්න මම ප්‍රවේසම් වෙනවා. ඒත් මේක සූදුවක් වගේ වැඩක්!”

අසාමාන්‍ය විදිහට තම ජීවිකාව කලත් ටොඩ් ගේ එදිනෙදා ජීවිතය නම් ඉතාමත් සාමාන්‍යයි ලු. “ගෙදරදී නම් මම වීදුරු කටේ තියන්නේ නැහැ” ටොඩ් පවසන්නේ ඔහුගේ භයානක රැකියාවේ බරපතලකම පිළිබඳ වගක් වත් නැති ලෙසයි.

මලිති විජේසේකර

Posted in:

0 comments for "වීදුරු පෙරේතයා"

Leave a reply