ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

වතුර යට ගිල්වපු රබර් බෝලයක් වගේ සත්‍යය කවදා හරි මතුවෙනවා - කමල් අද්දරආරච්චි

ඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

එයත් එක් හේතුවක් තමයි. නමුත්, නිර්මාණාත්මක දේවල් නැති නිසා තමයි ඒ විදියට වැඩිපුර ව්‍යාපාරික කටයුතුවලට යොමු වෙන්න සිදුවෙලා තිබෙන්නේ.

ඒ කතාව තවත් පැහැදිලි කළොත්?

චිත්‍රපටයකට, ටෙලි නාට්‍යයකට හෝ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙනවා නම් ඒවායේ පිටපත ගැන හොඳින් අධ්‍යයනය කරලයි මම ඒවාට සම්බන්ධ වෙන්නේ. නමුත්, හොඳ තිරපිටපත් අද  ඉතා කලාතුරකිනුයි දකින්නට ලැබෙන්නේ.  හොඳ පද රචනා  නොමැති වීම නිසා අපේ රටේ  සංගීතයත් අද අන්තයටම පිරිහිලා.  සාහිත්‍යමය වශයෙන් අද ඒ ක්‍ෂේත්‍රවල ලොකු පසුබෑමක් තිබෙනවා.  ඉතින්, හොඳ නිර්මාණ නැතුව මම කොහොමද කලා කටයුතුවලට
සම්බන්ධ වෙන්නේ?

හැබැයි වයසත් සමග වෙනදා රඟපෑ ඇතැම් චරිත දැන් ඔබට නිරූපණය කරන්න බැහැ?

ඔව්. වයස 16-25 දක්වා වගේ චරිත දැන්  මට රඟපාපාන්න බැරිවේවි. නමුත්, නූතන තාක්ෂණයත් එක්ක කරන්න බැරි දෙයක් නෑ. බොලිවුඩ් චිත්‍රපටයක අමිතාබ්  බච්චන් පුතා විදියටත්, අභිෂේක් බච්චන් පියා විදියටත් රඟපෑම ඊට හොඳම උදාහරණයක්.

ඔබ ඉංග්‍රීසි පන්තියක් ආරම්භ කළා. ඒ පන්තියට මොකද වුණේ?

ඒ පන්තිය මටම ඇති වුණු නිසා අත්හැර දැම්මා. නමුත් මම ඒ පන්තියෙන් එක දෙයක් තේරුම් ගත්තා. ඒ තමයි, අපේ රටේ තිබෙන්නේ කිසිම ඛමල්1උපයෝගිතාවයක්  නැති අධ්‍යාපනයක් බව.

ඒ කිව්වේ?

අපේ රටේ  තිබෙන්නේ  විභාගවලට ලියලා, සමත්වෙලා, රැකියාවලට අයැදුම් කරන්න බලාගෙනම නියැළෙන අධ්‍යාපනයක්. නමුත් එයින් කිසිම උපයෝගිතාවයක් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි ඉගෙන  ගත්තට වැඩක් නැහැ, සාමාන්‍ය ජීවිතයේදී ඉංග්‍රීසි හරියට කතා කරන්න බැරි නම්. මම කළේ  Sපොකෙන් Eන්ග්ලිශ් පන්තියක්. ඒ පන්තියටත් සහභාගි වුණේ, ඉංග්‍රීසි ඉගෙනීම  විලාසිතාවක් බවට  පත් කරගත් හෝ  විභාග  අරමුණු කරගෙනම ආපු පිරිසක්. ඔවුන්ට දිගටම උගන්වලා මුදල් උපයා ගැනීමේ අවස්ථාව මට තිබුණත්, මේ අධ්‍යාපන  ක්‍රමය තුළ ඔවුන් හරිහැටි  අධ්‍යාපනයක් ලබා නොගැනීම මගේ හිතට වදදෙන ප්‍රශ්නයක්  වුණ  නිසා මම ඒ පන්තිය නවත්වා දැමුවා.

දැන් ඔබ රියැලිටි තරගවලදී දැක ගන්නට නොලැබෙන්නේ ආරාධනා නොලැබෙන නිසාද?

සහභාගි වෙන්න තරම් සුදුසු වැඩසටහනක් අද දකින්නට නැහැ. දැන් පැවැත්වෙන රියැලිටි වැඩසටහන් දැක්කාම, ඒවාට සහභාගි වෙනවාට වඩා  සහභාගි නොවී ඉන්න එක හොඳයි කියල හිතෙනවා.

මීට පෙර සහභාගි වුණු රියැලිටි තරග ගැනත් කලකිරීමෙන්ද ඔබ මේ කතා කරන්නේ?

නැහැ. ඒවා මම සාර්ථකව ඉදිරිපත් කළා. නමුත්, අලුතෙන් යමක් කරනවා නම්, මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන්ම එකම දේවල්වල ඇලී ගැලී බොරු මවා පෑම් කරනවාට වඩා ජනතාවට ප්‍රයෝජනවත් දෙයකුයි  කළ යුත්තේ.

රංගන ජීවිතයේදී ලැබුණු ඇගයීම් ගැන තෘප්තිමත්ද?

ඇගයීම් බලාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙනවාට වඩා හොඳයි නිර්මාණ නොකර සිටීම. අපේ රට, ලැබිය යුතු ඇගයීම් ලබාගන්න අමාරු රටක්.

ඊට හේතුව මොකක්ද?

පුහු දේවල් පසුපස දුවන සමාජයක් තිබිමයි ඊට හේතුව.

ඔබේ පරපුරේ දක්ෂතම රංගන ශිල්පියා නම් කරන්න කිව්වොත්, මුලින්ම මතකයට නැගෙන්නේ කාවද?

ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා තමයි මේ දක්වා බිහිවුණු විශිෂ්ටතම රංගන  ශිල්පීන් විදියට නම් කරන්නට පුළුවන්.

මම ඔබෙන් විමසුවේ ඔබේ පරපුර ගැනයි?

ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනී, මහේන්ද්‍ර පෙරේරා අපේ පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් විදියට නම් කරන්න පුළුවන්. නමුත් මතෛක් බිහිවුණු විශිෂ්ටයන් තමයි ජෝ අබේවික්‍රම සහ ගාමිණී ෆොන්සේකා.

ඇයි ඔබේ පරපුරේ අයට ඒ විශිෂ්ටත්වය ළඟා කරගන්නට බැරි වුණේ?

දක්ෂයෝ ඉන්නවා. නමුත්, ඒ දක්ෂයන්ට විශිෂ්ටත්වයට පත්වීමේ ගමන තනිවම යන්න බැහැ, උසස් රංගනයකට ඉඩකඩ සලසන නිර්මාණ නැතිව. හොඳ නිර්මාණ නොමැතිකම නිසා  දක්ෂයන්ට විශිෂ්ටත්වයට පත්වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කඩා වැටුණු සිනමාවක අපට මොනවද කරන්න පුළුවන්? කැඩුණු දේවල් තියෙන තැනක සුන්බුන් අතරේ ඉතුරු වෙලා තිබෙන දේවල් සොයනවා  වගේ වැඩක් තමයි කරන්නට වෙලා තිබෙන්නේ.

සිනමාවේදී ඔබේ රඟපෑමක් ප්‍රේක්ෂකයන්ට අවසන් වරට දැක ගන්නට ලැබුණේ “කලර්” චිත්‍රපටයෙන්. “කලර්” හි   රංගනය  ගැන ඔබට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?

ප්‍රචාරණය අඩුවීම නිසා ඒ චිත්‍රපටය වාණිජමය වශයෙන් අසාර්ථක වුණත් එය නැරඹූ රසිකයන්ගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබුණා.

මෑත කාලයේදී ඔබට විවිධ චෝදනාවලටත් මුහුණ දීමට සිදුවුණා?

ඔව්. විවිධ  අය චෝදනා එල්ලකළා. ඒවාට උත්තරත් ලැබුණා. ඒ ගැන මට කියන්නට තියෙන්නේ, වතුර යට ගිල්වපු රබර් බෝලයක් වගේ සත්‍යය කවදා හරි  මතුවෙනවා කියන එක තමයි.

මේ දිනවල නියැළෙන නිර්මාණ කටයුතු ගැනත් සඳහනක් කළොත්?

මේ දිනවල රඟපෑම් ඉවරයි වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියේදී තිර ගත වන “තණ්හා රතී රඟා” සහ “දෝණි” චිත්‍රපටවලත් මම චරිත නිරූපණය කරනවා.

කිෂාන් කනංකෙ

Posted in:

0 comments for "වතුර යට ගිල්වපු රබර් බෝලයක් වගේ සත්‍යය කවදා හරි මතුවෙනවා - කමල් අද්දරආරච්චි"

Leave a reply