ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මම හිස බූ ගෑවේ හතරවැනි වතාවටයි ---- රන්ජන් රාමනායක


මේ දිනවල ඔබ කාර්යබහුලද?
පසුගිය දිනවල "රන්ජා චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරුණ නිසා කාර්ය බහුල වෙලා හිටියේ.


 මේ චිත‍්‍රපටයෙ රඟපාන චරිතය නිසා කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපාදාන්න සිද්ධවුණා නේද?
ඒ අවස්ථාවට මම මුහුණ දුන්නෙ පළවැනි වතාවට නෙවෙයි. උදයකාන්තගෙ සාගරය පරදා ටෙලි නාට්‍යයේ සහ එයාගෙම යකඩ පිහාටු චිත‍්‍රපටයෙත් හිස බූ ගාන්න සිද්ධ වුණා. ඊට පස්සෙ මගේ වන්ෂොට් වන් වෙනුවෙන් හිස බූ ගෑවා. දැන් මේ හතරවැනි වතාවට තමයි මෙහෙම කළේ.


 මේ පෙනුම සාමාන්‍ය ජීවිතයේ කටයුතුවලට ප‍්‍රශ්නයක් නෙවෙයිද? ඔබ නළුවකු වගේම මන්ත‍්‍රීවරයෙක්?
ඒක ඇත්ත. ඒත් තමුන්ගෙ නමින්ම චිත‍්‍රපටයක් නිර්මාණය වෙනවා නම්, එය ලොකු වාසනාවක්. ඊටත් වඩා ඉතා විශාල පිරිවැයක් දරලා කරන චිත‍්‍රපටයක් මෙය. සුදේශ් වසන්ත සහ සුනිල් ටී එකතුව කරන ඒ දැවැන්ත නිර්මාණයට මාව තෝරාගැනීම භාග්‍යයක්. ඔවුන්ගේ ඉල්ලීම අනුව මට මේ චරිතය වෙනුවෙන් හිසබූ ගාන එක කරන්නම වුණා.



 ඔබ ලස්සන ගැන, සුන්දරත්වය ගැන සුබවාදීව හිතන කෙනෙක්. ඉතින් හිතට දුකක් දැනුණෙ නැද්ද?
මම රඟපාන චරිතය වෙනුවෙන් උපරිම දායකත්වය දෙන්න උත්සාහ ගන්න කෙනෙක්. එතැනදී මාව අමතක කරලා චරිතයට උපරිමය ලබාදීමට උත්සාහ ගන්නවා. ඇඟෙන් කෑල්ලක් ගියත් ඒ නිසා දුක්වන්නෙ නැහැ.


 අද කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මුහුණ බලන කොට, මේ පෙනුම ලස්සනයි, කඩවසම් කියලා හිතෙනවද?
ම්ම්....ම්...හ්... දැන් ඉතින් කොණ්ඩය වැවෙනකල් විග් එකක්වත් දාන්න  ඕනෑ කියලා හිතෙනවා.


 මේ චිත‍්‍රපටයේ රඟපෑමට විශාල මුදලකුත් අයකරන්න ඇති නේද?


ඇත්තම කිව්වොත් ”මැදපෙරදිග අරමුදල” වෙනුවෙන් මුදලූත්  ඕනෑ තමයි. ඒ වෙනුවෙන් මෙවැනි නිෂ්පාදකවරු මට උදව් කරනවා. කොහොම වුනත් මේ චිත‍්‍රපටයෙ චරිතය තමයි මෑතකදී මම වඩාත් මහන්සිවෙච්ච චරිතය.


 අද කොහොමද ඉතින් ජීවිතේ?
ඉතාම සතුටින් ගෙවනවා. මොකද මගේ ජීවිතයට බැඳීම් නැහැනෙ. තනිකඩ තමයි. වෙලාවකට ඒ නිසා පාළුවකුත් දැනිලා තියෙනවා. හැබැයි මැදපෙරදිග ප‍්‍රශ්නය නිසා ලක්ෂ සංඛ්‍යාත දුක් විඳින මිනිසුන් වෙනුවෙන් සමාජ මෙහෙවරක නියැලෙන්න ලැබීම නිසා ඒ පාළුව මට දැනෙන්නෙ නැහැ.


 රන්ජා චිත‍්‍රපටයෙ රඟපෑමට පෙර ඔබ චිත‍්‍රපට කීපයක් ප‍්‍රතික්ෂේප කළා කියලත් ආරංචියි?
චිත‍්‍රපට පහකින් විතර ඒ විදියට අයින් වෙන්න සිද්ධවුණා. එක්කෝ ඒ කතාව අල්ලලා ගියෙ නැහැ. මේ චිත‍්‍රපටය දුවන්නෙ නැහැ කියන ආකල්පය යටි හිතට දැනුනොත් අධ්‍යක්ෂවරයා අමාරුවෙ නොදමා ඉන් ඉවත්වීම මගේ සිරිතක්.


 රන්ජා චිත‍්‍රපටයේ කතාව ඔබට හිතට දැනුණද? ඇයි ඒ?
ලොකු දේශපාලන කතාවක්. ගමේ පීඩිත පංතියේ තරුණයකු වටා ගෙතුණු කතාවක්. ඔහු කොළඹ ඇවිත් සිටින විට මුහුණ දෙන ප‍්‍රශ්න අපට සැබෑ ලෙස දැනෙන ප‍්‍රශ්නවලට සමානයි.


මෙහි අසීරුම අවස්ථා වුණේ මොනවද?
එක්තරා අවස්ථාවක පෙර ශිල්පිනියන් ඉවත් කොට පසුව වෙනත් ශිල්පීන් දෙදෙනෙක් ගත්තා. මේ නිසා සියයට පනහක් විතර රූගත කිරීම් කර තිබූ චිත‍්‍රපටයේ නැවත රූගත කිරීම්වලට සහභාගි වෙන්න ටෙනිසන්ට සහ මට සිද්ධ වුණා. එය හරි අසීරු දෙයක් වුණා. ඒ වගේම මෙහි බිහිසුණු සටන් ජවනිකා සහිත අවස්ථා රැසකට මුහුණ දෙන්න සිදුවුණා. සටන් අධ්‍යක්ෂ වසන්ත කුමාරවිල ඒ වෙනුවෙන් විශාල සහයෝගයක් ලබාදුන්නා. තරමක් දුරට ආත්මාරක්ෂක ක‍්‍රම ප‍්‍රගුණ කර තිබීම නිසාත්, තව දුරටත් පුහුණු වන නිසාත් ඒ අවස්ථාවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණා.


 සමහරු කියන්නෙ ඔබ අද තවත් කඩවසම් වෙලා කියලයි. ඒකට විශේෂ හේතුව?
ඉතාම සතුටින් ජීවිතය ගෙවීම. මානසික ආතතිය නැතිව ජීවත්වීම. හැබැයි මේ බාහිර ඔක්කෝටම වඩා පපුව ඒ කියන්නේ අදහස් පිරිසිදු වෙන්න  ඕනෑ. ඒ වගේම ව්‍යායාම් කරන්න  ඕනෑ. හොඳට වතුර බොන්නත්  ඕනෑ. කෘති‍්‍රම ජීවිතයකට වඩා සරලව ජීවත්වෙන්න  ඕනෑ.







Posted in:

0 comments for "මම හිස බූ ගෑවේ හතරවැනි වතාවටයි ---- රන්ජන් රාමනායක"

Leave a reply