ෆොටෝ කොපි නළුවෝ සහ රසිකයෝ
.jpg)
සංචාරක ව්‍යාපාරයෙහි යෙදී සිට මෑතකදී විශ්‍රාම ලැබූ අප මිත්‍රයෙක් කාලය ගෙවා ගැනීම සඳහා තෝරා ගැනීමකින් තොරව ම ටෙලි නාට්‍ය නරඹයි.
අපට වඩා වැඩිහිටි ඔහු, අප නොනැරඹූ චිත්‍රපට ද නැරැඹුවෙකි. එහෙයින් ඔහු හමුවන බොහෝ අවස්ථාවල සිංහල චිත්‍රපටි ගැන කතාබහට මා පෙලඹෙන්නේ නොදත් දෑ දැන ගැනීමේ රිසියෙනි.
මෑතකදී අප හමුවූ විටෙක ඔහු සිංහල ටෙලි නාට්‍ය ගැන කතා කරන්නට විය.
”දැන් චිත්‍රපටි බලන්නෙ නැද්ද?”
මම ඇසුවෙමි.
”හොඳ එකක් ආවොත් බලනවා.”
ඔහු සිනාසුණේය.
”ටෙලිනාට්‍ය ගැන මොකද හිතෙන්නෙ?”
”ඒක කාලය ගෙවා ගන්න කරන වැඩක්. රස්සාව කරන කාලෙ මං ටෙලිනාට්‍ය බැලුවෙ නෑ.”
”ටෙලිනාට්‍යවලට කැමැතිද?”
”ම්....” ඔහු මඳක් කල්පනා කළේය.
”හොඳ ඒවත් තියෙනවා.”
එතැන් සිට අපේ කතාව යොමුවුණේ සිංහල ටෙලි නාට්‍යයේ ගුණාගුණ දෙසටය. ඔහු කියූ දේ අතුරින් මගේ වැඩි අවධානය යොමු වූ කරුණ දෙකක් විය. පළමුවැන්න, ටෙලි නාට්‍යයක තිබිය යුතු ආකර්ශනීය කතා කලාව අපේ රචකයින් විසින් හඳුනාගෙන නොතිබීමය. බොහෝ නාට්‍ය දියාරුය. එක තැන පල්වෙයි.
දෙවැන්න, විවිධත්වයෙන් තොර ඒකාකාරී රඟපෑමය. මගේ මිතුරා මෙහිදී උපහාසාත්මක යෙදුමක් පැවසුවේය.
”දැන් ඉන්න තරුණ නළු නිළියො ෆොටෝ කොපි වගේ. කිසිම වෙනසක් නෑ. ඒ නිසා ඒගොල්ලන්ව අපේ මතකයේ රැඳෙන්නෙ ටික කාලයයි.”
චිත්‍රපටි රසිකයකු වූ මගේ මිතුරා, සිය කතාව තරමක් ඈතට ගෙන යමින් සිංහල රිදී තිරයේ සිටි ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වැනි රංගධරයින් නිරූපණය කළ චරිත ගැන සඳහන් කළේය.
”ගාමිණී රඟ පෑ හොඳම චරිතය මොකක් ද?”
මම ඇසුවෙමි.
”බොනී මහත්තයා - පරසතු මල් චිත්‍රපටියෙ.”
”ජෝ අබේවික්‍රම? ගෝරිං මුදලාලි. වැලිකතර”
මම ප්‍රශ්නය සමඟ පිළිතුර ද ඉදිරිපත් කළෙමි.
”නෑ” ඔහු සිනාසුණේය.
”සාරයියා. සාරවිට චිත්‍රපටියෙ.”
ඔහු මගේ මුහුණ දෙස බලා සිටියේ, එය මා පිළිගන්නේදැයි විමසන්නාක් මෙනි.
එක් චරිතයක් වටා අවධාරණයෙන් ම ගෙතුණු කතාවක් හැටියට හැඳින්විය හැකි ‘සාරවිට’ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම චරිතය හා සමාජ විග්‍රහයකි.
තවත් එබඳුම චරිත විග්‍රහයක් ලෙස හැඳින්විය හැකි චිත්‍රපටයකි, ‘පරසතු මල්’.
’පරසතු මල්’ අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතය රඟපාන ගාමිණී ෆොන්සේකාට කලක් තිස්සෙ තමන් නළු ජීවිතයෙන් ලත් අත්දැකීම්, චරිත විග්‍රහයට බොහෝ සේ ඉවහල් වී ඇත.
එම ලිපියෙහි ම සඳහන් වන පරිදි ජෝ අබේවික්‍රම එකල සිටි (60 දශකය) ඉතාමත් වැඩ අධික නළුවාය.
මේ ලිපියෙහි එන ඉතා වැදගත් යෙදුමක් වන්නේ චරිත විග්‍රහයයි.
අද ටෙලි නාට්‍ය තුළ සුලබව දක්නට ලැබෙන පැතලි චරිත තුළ විග්‍රහයකට ලක් කිරීමකට තරම් ගැඹුරක් නැත. එබඳු චරිත අතර නාටකීය අන්තර් ක්‍රියාවන් වෙනුවට ඇත්තේ හුදු දෙබස් කියැවීම්ය.
දක්ෂතා ඇති ශිල්පීන් පවා ‘ටෙලිබිසියට’ ගොදුරුවීම නිසා “ෆොටෝ කොපි බිස්සට” වැටෙති.
ජෝ, ගාමිණි, විජය වැන්නවුනට පමණක් නොව වාස්, බී.එස්, ෆේරඩී, දොන් හෝ කොස්තා වැනි චරිතාංග නළුවනට හෝ අනුප්‍රාප්තිකයන් බිහි නොවන්නේ එහෙයිනි.
අද ටෙලි කර්මාන්තය තුළ ඇති පරිහානිය පිළිබඳව, එහි නිරත පුද්ගලයන් ම උපහාසයෙන් කතා කරනු අසන්නට ලැබේ. ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පියෙක් මෑතකදී මෙසේ කීවේය.
”දැන් ඉන්න සමහර නළු නිළියො මූණෙ එක පැත්තක් මේකප් කරන කල් අනික් කනෙන් කෝල් එකක් ගන්නවා. ඒ පැත්ත ඉවර වුණාම, ෆෝන් එක අනිත් කනට ගන්නවා.”
රංගනය යනු ජීවිත විවරණයකි, චරිත අධ්‍යයනයකි.
එය නොදැන රඟන්නෝ එක තැන පල්වෙති.
රසික සිත් තුළ දිගු කල් රැඳීමේ වාසනාව ඔවුනට අහිමි විය.

0 comments for "ෆොටෝ කොපි නළුවෝ සහ රසිකයෝ"
Leave a reply