ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අතුලයි සමිතයි එකට එකතුකළේ හරි අමාරුවෙන් - සහන් අබේසේකර


නන්නාඳුනන දෙන්නෙක් මේ ලෝකෙදි හමුවෙන්න ඕන උත්තරීතරම විදියට. ඒ කියන්නෙ ආදරයෙන් මුණගැසෙන්නෙ සැරටියෙන් යනතාක් කල් සංසාරේ එක්ව ඉන්න බලාපොරොත්තුවෙන්. රෝමියෝ ජුලියට්ලා, සාලිය අශෝක මාලලා, ලයිලා මජ්නුලා, සකුන්තලා දුෂ්මන්තලා ආදරේ ගැන ඒ වගේ හීන මැව්වාට දැන් දැන් එකවර දෙතුන් දෙනාට පරිත්‍යාග කරන්න පුළුවන් තරමට ආදරේ වපසරිය පුළුල් වෙලා. හමුවීම්වලට වගේම වෙන්වීමටත් වටිනාකම් ලැබිලා. ඒ නිසාම අපි ඉන්නෙ ආදරයට වගේම සමුගැනීමටත් එක සේ හදවත විවර කරගෙන.


'ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුණා සත්තයි හෙමින්...'


අතුලගේ අතිශය හැඟීම්බර ස්වරයෙන් ගැයෙන මේ පද පේළියට අපේ අය මේ තරම් සංවේදී වුණෙත් ඒ හින්දා වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. පසුගිය දවසක ලංකාවේ මියුසික් වීඩියෝවලට සම්මාන පිට සම්මාන දුන්නු දෙරණ මියුසික් වීඩියෝ එවොර්ඩ්ස්වල ජනප්‍රියම සම්මාන දිනා ගත්තෙත් ප්‍රේමණීය වියෝවක් තේමාකරගත් වීඩියෝවක්. අතුල - සමිතා සුසංයෝගයෙන් හැදුණු ඉවසයිද මන්දා ගීතය වෙනුවෙන් සහන් අබේසේකර අධ්‍යක්‍ෂණය කළ රූපරචනය වසරේ ජනප්‍රියම සම්මාන දිනා
ගනිද්දී සමිතාගේ ඇස්වල ඉවසන්න බැරි කඳුළු වේදිකාව දිගේ ගලාගෙන ගියා. සම්මානය අතට ගත්තු ඒ සංවේදී මොහොතේ එකට හිටිය කාලයේදීවත් නොලැබුණු සම්මානය ගැන ඇය බොහොම හැඟීම්බර වුණා. සංවේදී තිගැස්මක් අපේ හිත්වල ඉතුරු කරපු මේ වීඩියෝව හැදුණ හැටි අහන්න සහන්ව හමුවෙන්න අපිට හිතුණෙත් ඒකමයි. ගහෙන් ගෙඩි එනවා වගේ විෂුවල් නිර්මාණය වෙන කාලේ වෙනස් විදියේ වීඩියෝ එකක් නිර්මාණය කරන්න උපක්‍රමශීලී වුණේ කොහොමද කියලා අපි සහන්ගෙන් මුලින්ම ඇහුවා.


'මම මේ මියුසික් වීඩියෝ එක කළේ මේක ජනප්‍රියම මියුසික් වීඩියෝ එක කරනවා කියන අදහසින් නම් නෙවෙයි. ඒ නිසා උපක්‍රම යොදන්න මම තීරණය කළේ නෑ. මම මුලින්ම මට අවංකයි. හැබැයි මගේ නිර්මාණය බොහොම සාධාරණ විදියට සාර්ථකව කරන්නෙ කොහොමද කියන දේ විතරක් මං හිතනවා.


මම කරන දේ මුලින්ම මට විඳින්න පුළුවන් වෙන්න ඕන. ඒක නිසා මම තමයි මගේ නිර්මාණයේ මුල්ම ප්‍රේක්‍ෂකයා වෙන්නෙ. ඒ සඳහා මම සාර්ථක දේවල් යොදා ගත්තා. කැමරාකරණය සඳහා ලංකාවේ දක්‍ෂ කැමරා ශිල්පියෙක් වුණු රංග එස්. බණ්ඩාර යොදා ගත්තා. පැතුම් නුවන් සංස්කරණය පැත්තෙන් උපරිම සහයෝගය ලබා දුන්නා. ඒ විදියට බොහොම සැලසුම්ගතව නිර්මාණය කිරීම සාර්ථකත්වයට ලොකු හේතුවක් වුණා.


වීඩියෝවට මේ තරම් ඉල්ලුමක් ලැබෙන්න විශේෂ හේතුවක් තියෙනවද?


'වීඩියෝ එක ජනප්‍රිය වෙන්න බලපෑව ප්‍රධානතම කාරණාව හැටියට මං දකින්නෙ, ගීතයේ තියෙන අන්තර්ගතය, ගීතයේ තියෙන සංඛ්‍යාතයටම හරි යන මියුසික් වීඩියෝ එකක් නිර්මාණය වීම. ඛ්ඩධපභඵ එකේ පළමුවැනිම වචන ටික තියෙන්නෙ ඉවසයිද මන්දා මා දුන් රිදුම් කියලානේ. එහෙම කිව්ව ගමන්ම කෙනෙක් තවකෙනෙක්ට රිද්දලා තියෙනවා. ඒක එයා අතින් වුණු වරදක් විදියට එයා පිළි අරගන්නවා. බොහොම ප්‍රායෝගිකයි ඒක. වස්තුබීජය කරගෙන ගීතයේ අන්තර්ගතයට සාධාරණයක් වෙන විදියේ රූප රචනයක් ඉදිරිපත් කරන්න උත්සාහ කිරීම තමයි සාර්ථකත්වයට බලපෑවේ.


ඒත් සහන්, කෙනකුට හිතෙන්න පුළුවන් ඔයා අතුල සමිතාගේ පෞද්ගලික ජීවිතය ඔවුන්ටත් හොරෙන් මේ ගීතය ඇතුළට රිංගවලා වීඩියෝ එක ජනප්‍රිය කරගන්න උත්සාහ කළා කියලා. අපේ ඒ ප්‍රශ්නයටත් සහන්ට හොඳ උත්තරයක් තිබුණා.
'මං කියනව කෙනකුට එහෙම තර්ක කරන්න බෑ කියලා. මොකද කෙනකුගේ පෞද්ගලික ජීවිත කතාව මියුසික් වීඩියෝවේ කතා තේමාව වීම නිසාම සාර්ථකත්වයට පත් වෙන්නෙ නෑ. එහෙනම් මීට වඩා වෙනස් විදියට මට ඒක රූගත කරන්න තිබුණා. මෙතනදි වුණේ පෞද්ගලික ජීවිතේ කතාවට වඩා ඒ දෙන්නා ගීතයේ කියන කතාව රූපරචනයේ කතාවට සමාන වුණා. රූපරචනයේදී අදාළ චරිත අතරේ හිතවත්කමත් ගොඩනැඟෙන්නෙ නෑ. නමුත් අතුල සමිතාගේ පෞද්ගලික ජීවිතේ හරිම ආදර්ශමත් විදියට තාමත් ඒ හිතවත්කම් එහෙම්ම තියෙනවා. ඒ නිසා ගීතයේ තේමාවට අදාළව වීඩියෝ නිර්මාණය වුණා කියන එක පැහැදිලිවම ඇත්තක්.


රූපරචනයේ අදාළ චරිත නිරූපණය කරන ආක්‍ෂා, කාවිංගටත් වඩා හැඟීම්බරව අතුල, සමිතා නිරූපණය කරන කොටස් යොදාගන්න හිතුවෙ ඇයි?


ඒකයි මං කියන්නෙ හැමදේකම වෙනසක් ඇතිකළ යුතුයි. නිර්මාණශීලී බව කියන දේ හැමතැනටම ගේන්න ඕන. අද මියුසික් වීඩියෝවලදී බොහෝ වෙලාවට ගායකයා ඉදිරිපත් වෙන්නෙ නෑ. අතුල සමිතා බොහොම සංවේදී විදියට ගායනයෙන් ඉදිරිපත් කරන දේ අලුත් විදියට ඒ දෙන්නාවත් පාවිච්චි කරන්න ඕන කියලා මං හිතුවා. තාවකාලිකව හෝ ඔවුන් මේ චරිතවලට ආරූඪ කරගත යුතුයි කියලා මං තීරණය කළා.


සහන්ගේ ඒ තීරණයෙන් වීඩියෝවකට අංශුමාත්‍රයක නරකක් වුණේ නෑ. සමිතාත් අතුලත් ලොකු කැපවීමකින් මේ වැඩේට ලොකු සහයෝගයක් ලබා දුන් බව කිව්වෙ සහන්.
'මියුසික් වීඩියෝ එක හදන්න අපිට මාස එකහමාරක විතර කාලයක් ගියා. මට හුඟක් ඉවසීමකින් මේ වැඩේ කරන්න සිද්ධ වුණා. අපි කතාව ෂූට් කරද්දි අතුල සමිතා සම්බන්ධකර ගන්න බැරිවුණා. මොකද මුලින්ම සමිතා අක්කා අසනීප වෙලා හිටියා. එයා හොඳ වුණාට පස්සෙ අතුල අයියාට විදෙස් ගත වෙන්න සිද්ධ වුණා. ඒ දෙන්නාටම පුළුවන් දිනයක් යොදා ගන්න තව සතියක් දෙකක් විතර බලාගෙන ඉන්න වුණා. කොහොම හරි මේ දෙන්නා එකතු කරගත්තාට පස්සෙ උපරිම සහයෝගයක් ලැබුණා. ආක්‍ෂා, කාවිංග ගත්තත් එහෙමයි.


හිමිවීමත් අහිමිවීමත් අතර සරල කඩඉම බොහොම සියුම්ව ස්පර්ශ කරපු සහන් අවසානයේ අපේ ඇස්වලටත් කඳුළු ගේන්න පුළුවන් නිර්මාණයක් කරන්න උත්සාහ කරලා තිබුණේ ඒ විදියට. ලැබුණ ජයග්‍රහණය කියන්නෙ, සහන්ගේ මාර්ගය හරිම පැහැදිලිය කියලා.


සුභාෂිණී ගුණරත්න

Posted in:

0 comments for "අතුලයි සමිතයි එකට එකතුකළේ හරි අමාරුවෙන් - සහන් අබේසේකර"

Leave a reply