වහාම දෙරණ Music Award නම වෙනස් කරන්න - සෝමරත්න දිසානායක

දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් සම්මාන උළෙල සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ කොහොමද?
ඒ සංවිධායකයෝ කලින් ඉඳලම මට මේ සඳහා ආරාධනා කළා. ඊට පස්සෙ වරින්වර මට ඒ ගැන මතක් කළා. මම ඒ ආරාධනාව පිළිඅරගෙන තමයි සම්බන්ධ වුණේ.
මෙවැනි සම්මාන උළෙලකට සම්බන්ධවුණු පළමු අවස්ථාව මේකද?
ඇත්තටම මේ වගේ සම්මාන උළෙලකට නම් සම්බන්ධවුණු පළමු අවස්ථාව තමයි.
යන්න කලින් සම්මාන උළෙලේ ස්වරූපය දැනගෙන හිටියේ නැද්ද?
නෑ. මම දැනගෙන හිටියෙ නෑ. "මියුසික් වීඩියෝ අවෝර්ඩ්ස්" කිව්වම
මම හිතුවෙ සංගීත රූප සඳහා සම්මාන දෙනවා කියලා. ඒත් එතැන සංගීතය තියෙනවා මම දැක්කේ නෑ.
ඒත් මේ 'දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ්" පවත්වන පළමු අවස්ථාව නෙවෙයි.
වෙන්නැති. ඒත් මම දැනගෙන හිටියේ නෑ මේ උත්සවය මොන වගේද කියලා. කලින් පැවැත්වූවේ කොහොමද? සම්මාන දෙන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නෑ.
ඔබ අපේක්ෂා කරපු සම්මාන උළෙලයි දැකපු සම්මාන උළෙලයි අතර වෙනස මොකක්ද?
සංගීත රූප රචනා සම්මාන උළෙලක් කිව්වම මම හිතුවා මේක ලංකාවේ සම්මාන උළෙලක් කියලා. ඒත් ශ්‍රී ලාංකේය සංගීතයක් මම දැක්කේ නෑ. ඔක්කොම සම්මාන ලැබුණේ විදේශීය බටහිර, අප්‍රිකානු ආදී සංගීත රටාවලට.
ඔබට ඒ වෙලාවේ ඇතිවුණ කලකිරීම සම්මාන උළෙලට සම්බන්ධ වී සිටි අනෙක් අයටත් දැනුණ දෙයක් නෙවෙයි නේද?
මං ඒක දන්නෙ නෑ. ඒත් මගේ ප්‍රකාශයෙන් පස්සේ මට ලැබුණු දුරකතන ඇමතුම් සහ මුණගැහිලා කතාකරපු පිරිස එයාලට කියාගන්න බැරිව ඉඳපු දෙයක් කිව්වා කියලා මට ප්‍රශංසා කළා.
කොහොම වුණත් එදා ප්‍රේක්ෂකාගාරයෙන්වත් ඔබට සහයෝගයක් ලැබුණේ නෑ නේද?
ඔව්. ඒ සභාවට මම ඒ තරම් ජනප්‍රිය පුද්ගලයෙක් වුණේ නෑ. මම ඒක දන්නවා. මොකද එතැන හිටියේ ඒ ගීතවලට කැමැති, ඒ සංගීතයට කැමැති, ඒ රූප රචනාවලට කැමැති පිරිසක්.
සම්මාන උළෙලක් තියන්න සුදුසුම ක්‍රමය මොකක්ද?
සම්මාන උළෙලේ ස්වභාවය කොයි වගේද කියලා සම්මාන ප්‍රදානයට සම්බන්ධ වී සිටින අයව දැනුම්වත් කළ යුතුයි. සම්මාන දෙන්නේ මොන වගේ සංගීත රටාවකටද මොන වගේ නිර්මාණ රටාවකටද කියලා.
ඔබ සම්මාන ප්‍රදානයට යන්න කලින් ඒ ගැන දැනගෙන සිටියේ නැද්ද?
මියුසික් වීඩියෝ අවෝර්ඩ් කියන නම විතරයි මම දැනගෙන හිටියේ. ඉතිං මම හිතුවා ලංකාවේ සම්මාන උළෙලක් ලංකාවේ ශිල්පීන් වෙනුවෙන් සම්මාන ලැබෙයි කියලා.
ගීතයට නෙවෙයි රූප රචනාවට සම්මාන පිරිනමන උළෙලක් කිව්වොත් ඔබ මේ සමඟ එකඟ වෙනවද?
එහෙම වුණත් මම එකඟ නෑ. සම්භාව්‍ය, ගුණාත්මක ගීතවලටත් රූප රචනා කරන අවස්ථා තිබෙනවා. එවැනි ගීත රූප රචනාවලට සම්මාන පිරිනමනවා මම දැක්කේ නෑ.
දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල සංස්කෘතික ඝාතනයක් ලෙස හඳුන්වන්නේ ඇයි?
ඒ උළෙල පවත්වාගෙන ගිය විලාසය තමයි හේතුව. ඉංගී්‍රසි සිංහල මිශ්‍ර වෙලා සහභාගි වුණු අයගේ ඇඳුම් විලාසිතා පවා අපේ සංස්කෘතියට ගැළපුණේ නෑ. අන්තිමේ ජාතික නාළිකාවක් මේක සජීවීව පෙන්නද්දි මේ තමයි දේශීය සම්මාන උළෙලක් කියලා බලන අයගේ ඔළුවට යනවා.
මේ විවේචන ගේන්නේ අලුත් පරම්පරාවේ ප්‍රවණතා ඉවසා ගන්න බැරිවද?
අලුත් පරම්පරාවේ රසවින්දනය විනාශ කරන්නේ මේ වගේ දේවල්වලින් තමයි. ඒක තමයි මට තියෙන කේන්තිය. ඇයි අලුත් පරම්පරාවට දේශීය දේවල් වටින්නේ නැත්තේ. එහෙම දේශීය දේවල් අගයන තරුණයෝ අපිට නැතුව නෙවෙයි. ඔවුන්වත් එහෙනම් මෙහිදී ඇගැයිය යුතුයි.
ප්‍රවීණයෙක් හැටියට එදා ඔබේ හැසිරීම සම්බන්ධයෙන් සෑහීමට පත්වෙනවාද?
ඔව්. එදා මම ඒ ප්‍රකාශය නොකර නිකම්ම සම්මාන දීලා ආවා නම් මම කළේ වැරැදි වැඩක් කියලා පස්සේ මට දුක හිතෙන්න ඉඩ තිබුණා.
ඔබේ ප්‍රකාශයෙන් සංවිධායක මණ්ඩලය අපහසුතාවට ලක්වුණා කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම වෙන්න ඇති. ඒ ගැන මට කනගාටුයි. දෙරණ නාළිකාව කියන්නේ මම බොහොම ගරු කරන රූපවාහිනී නාළිකාවක්. ඒ ගෞරවය තවමත් එහෙමයි.
මේ ප්‍රකාශය නිසා සෝමරත්න දිසානායක කියන පුද්ගලයාගේ ප්‍රතිරූපයට කැළැලක් වුණා කියලා හිතෙන්නේ නැද්ද?
මම ප්‍රකාශ කරන්නේ වැඩ කරන්නේ, නිර්මාණ කරන්නේ මගේ ප්‍රතිරූපයට වාසියක් වෙනවද බලලා නෙවෙයි. මගේ හෘද සාක්ෂියට එකඟයි නම් කීර්තිය හෝ අපකීර්තිය මට වැදගත් නෑ.
මියුසික් වීඩියෝ හරහා අංකුර නිර්මාණකරුවන් බිහිවන්නේ නැද්ද?
එදා සම්මාන ලබපු අය අතර නම් එවැනි නිර්මාණකරුවන් හිටියේ නෑ. මේ දරුවෝ මේ මාවත තෝරගන්නේ ඔවුන්ගේ වරදින් නෙවෙයි. වැඩිහිටියෝ ඔවුන්ට දේශීය මාවත පෙන්නලා දීලා නෑ.
ගීතයකට රූප රචනා කිරීම සම්බන්ධයෙන් ඔබ එකඟයිද?
ඔව්. මමත් කරලා තියෙනවානේ. මම කියනවා ඒවා නරඹලා මම මේ කියන වෙනස තේරුම් ගන්න කියලා.
විවේචනයට අමතරව ඔබට කරන්න යෝජනාවක් නැද්ද?
තියෙනවා. වහාම මේ සම්මාන උළෙලේ නම වෙනස් කළ යුතුයි. නවරැල්ලේ ගීත රූප රචනා සම්මාන උළෙල, එහෙම නැත්නම් පොප් මියුසික් වීඩියෝ අවෝර්ඩ් වගේ නමකින් පැවැත්වූවා නම් ගැටලුවක් නෑ.
ujqnsu
0 comments for "වහාම දෙරණ Music Award නම වෙනස් කරන්න - සෝමරත්න දිසානායක"
Leave a reply