ටී 56 සහ ගල්කටස් වර්ගයේ ගිනි අවි පෙන්වා රන්දම්වැල කඩා ගැනීමේ තැත වැරැදේ කොල්ලකරු මරුට
කොල්ලකරුවන් පිරිසක් සහ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් අතර 30 දා අලුයම සිදුවූ වෙඩි හුවමාරුවකදී එක් කොල්ලකරුවකු පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්ව ඇත.
කටාන, නැරැකළුවාරිප්පුවේ පදිංචිකරුවකු වන කේ. ජූඩ් නිශාන්ත ප්‍රනාන්දු (32) නමැති අය මෙසේ මියගොස් තිබේ. මිනුවන්ගොඩ නාලන්දා විදුහල අසල තරුණයන් දෙදෙනකු උපකාරක පන්තියකට අයත් පෝස්‌ටර් අලවමින් සිට ඇත. එම අවස්‌ථාවේ එම ස්‌ථානයට පැමිණි දෙදෙනකු පෝස්‌ටර් අලවමින් සිටි තරුණයකුගේ රන් දම්වැල කඩා ගැනීමට උත්සාහ දරා ඇත.
ටී 56 සහ ගල්කටස් වර්ගයේ ගිනි අවි කොල්ලකරුවන් සන්තකයේ තිබී ඇතත් ඒවාට බිය නොවූ තරුණයන් දෙදෙනා කොල්ලකරුවන්ට පහරදී තිබේ.
දෙපිරිස අතර මහා මාර්ගයේ ගුටිබැට හුවමාරුව යන අතරතුර කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්‌ථානයක සේවය කරන අයෙකු සිද්ධිය පොලිසියට දන්වා තිබේ. ඒ සමග පොලිස් නිලධාරීන්
එම ස්‌ථානයට යැමේදී කොල්ලකරුවන් පොලිසියට වෙඩි තබමින් පලාගොස් තිබේ.
මියගිය කොල්ලකරු මිනුවන්ගොඩ පොදු සුසාන භූමියට ගොස් සැඟවී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර පොලිස් නිලධාරියකුගේ වෙඩි ප්‍රහාරයට ලක්‌ව බරපතළ තුවාල ලැබූ කොල්ලකරු මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියේය.
මියගිය කොල්ලකරු පොලිසියට වෙඩි තැබූ ටී 56 ගිනි අවිය පොදු සුසාන භූමියේ තිබියදීද, ගල්කටස් වර්ගයේ ගිනි අවිය තරුණයන් දෙදෙනා සමග ගුටිබැට හුවමාරු කරගත් ස්‌ථානයේ තිබියදී ද පොලිසිය මගින් සොයාගෙන තිබේ.
ගිනි අවි අතැතිව සිටි කොල්ලකරුවන් දෙදෙනා සමග පොර බැදූ පෝස්‌ටර් අලවමින් සිටි තරුණයෝ දෙදෙනාද තුවාල ලබා මිනුවන්ගොඩ දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. මෙසේ තරුණයන් සමග පොර බදා ඇත්තේ 22 හැවිරිදි තරුණයකු සහ අ.පො.ස. උසස් පෙළ හදාරන සිසුවකු බව පොලිසිය පවසයි.
මියගිය කොල්ලකරුට විවිධ චෝදනා සම්බන්ධයෙන් කොළඹ, කඩුවෙල සහ මීගමුව යන අධිකරණවල නඩු විභාග වන බවත්, මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ ඇති නඩුවක් සම්බන්ධයෙන් මීට දින කිහිපයකට උඩදී ඇප ලබා ඇති අයෙකු බවත් පොලිසිය පවසයි.
Posted in:
sri e news,
srienews.com,
රන්දම්වැල කඩා ගැනීමේ තැත වැරැදේ


0 comments for "ටී 56 සහ ගල්කටස් වර්ගයේ ගිනි අවි පෙන්වා රන්දම්වැල කඩා ගැනීමේ තැත වැරැදේ කොල්ලකරු මරුට"
Leave a reply