ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විශේෂ කටයුත්තක
මාස තුනකට අධික කාලයක් තිස්සේ ලංකාවේ පුවත් මවන්නිය ලෙස ප්‍රසිද්ධව හිඳිමින් සියලුම ජාතික පුවත්පත්වල මුල්පිටුවේ සිටි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් වූ දෝෂාභියෝගය නිමාවීමත් සමඟ කිසිදු පුවත්පතක් ඇය පිළිබඳ තොරතුරු වාර්තා කරන්නට ගියේ නැත.ඇය පිළිබඳ මාධ්‍ය වාර්තා කළ අවසන් පුවත වූයේ තනතුර අහිමිවීමත් සමඟ ඇය නිල නිවෙසට ආයුබෝවන් කියා සිය පෞද්ගලික රථයේ නැඟී රාජගිරියේ පිහිටි පෞද්ගලික නිවෙසට පදිංචියට ගිය බවකි.
ඉන් අනතුරුව ඇයද නිහඬ ව්‍රතයක් රැකීම නිසා ඇය පිළිබඳ කිසිදු පුවතක් මාධ්‍ය මඟින් වාර්තා නොවිණි.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරාම ඇයගේ පෞද්ගලික නිවෙසේ දුරකතනයට මෙන්ම ඇගේ ජංගම දුරකතනයටද
පැමිණි ඇමැතුම්වල කෙළවරක් නොවීය. එම ඇමැතුම්වල, එහා කෙළවරේ සිටියේ ඇයට හිතවත් නීතිඥවරු, විනිසුරුවරු සහ විවිධ ආයතනවල සංවිධානවල ප්‍රධානීන්ය. ඔවුන් සියල්ලන්ම ඇයට කතා කොට ඇගෙන් විමසා සිටියේ මුණගැසී සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දිය හැකිද යන්නය.
නමුත් ඒ සියලුම ඉල්ලීම් ඉතා කාරුණිකව ප්‍රතික්‍ෂේප කිරීමට ඇය කටයුතු කළාය. ඊට හේතුව වශයෙන් ඇය පෙන්වා දුන්නේ මේ දිනවල තමන් විශේෂ කටයුත්තක නිරත වී සිටින බවත්, ඊට බාධාවක් විය හැකි නිසා මේ මොහොතේ තමන්ට අමුත්තන් මුණගැසී සාකච්ඡා පැවැත්විය නොහැකි බවත්ය. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විශේෂ කටයුත්තක නිරතව සිටින බව දැනුම්දීමත් සමඟම කතා කළ සියලු දෙනාම පාහේ මහත් තිගැස්මකට ලක් වූයේ හිටපු අගවිනිසුරුවරිය දෝෂාභියෝග ක්‍රියාදාමයට එරෙහිව කුමක් හෝ බරපතළ නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ලහිලහියේ සැරසෙනවාද යන සැකය එක්වරම හිතට ඇතුළු වීම නිසාය.
නමුත් ඒ මොහොතේදීම එම සැකය දුරු කළ හිටපු අගවිනිසුරුවරිය ඔවුන්ට කියා සිටියේ තමා මේ දිනවල තම පෞද්ගලික නිවෙස වාසය කිරීමට සුදුසු තැනක් බවට පත්කරලීම සඳහා වර්ණ ආලේප කරමින් සිටින බවත්, ඒ සියල්ල තම අධීක්‍ෂණය යටතේ සිදුකෙරෙමින් පවතින බවත්ය. ඒ සියලු කටයුතු නිම කිරීමෙන් අනතුරුව තමා හමුවීමට කතා කළ සියලු දෙනාටම වේලාව වෙන් කරන බවද හිටපු අගවිනිසුරුවරිය කාරුණිකව සඳහන් කර සිටියාය.
එමෙන්ම පසුගිය සතියේදී හිටපු අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කිහිප දෙනකු සමඟද ඇය අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කළාය. එහිදී එක් කරුණක් චෝදනාත්මක ස්වරූපයෙන් කියා සිටි හිටපු අගවිනිසුරුවරිය තමන් මේ වන විට නිල නොවන ආකාරයට නිවාස අඩස්සියේ තැබීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව සඳහන් කර සිටියාය.
'මට ගෙයින් එළියට බහින්න නැහැ. මම යන හැම සැරේම එක එක වාහන මාව ෆලෝ කරනවා. මම යන එන තැන් ඔත්තු බලනවා.' යැයි කී හිටපු අගවිනිසුරුවරිය ඒ පිළිබඳ ඉදිරියේදී නීතිඥවරු සමඟ කතා කිරීමට අවශ්‍ය බවද සඳහන් කර සිටියාය.
Posted in:
sri e news,
sri lanka,
srienews.com
0 comments for "ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විශේෂ කටයුත්තක "
Leave a reply