ජාතික ගීයට දෙමළ භාෂාවත් එක් කිරීම සම්බන්ධව අදහස්
.jpg)

ජාතික ගීයට දෙමළ භාෂාවත් එක් කිරීමට යෑම සම්බන්ධව මහා සංඝරත්නයේ දැඩි අප්‍රසාදය පළකරන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි නාහිමියෝ මාතලේ මඩවලඋල්පත උදාලංකා පිරිවෙනේදී පැවැති ගුණානුස්මරණ සමරු උත්සවයකදී පැවැසූහ.ජාතික ගීයට දෙමළ භාෂාවත් එක් කිරීමට යෑමෙන් මේ රටේ නැති ප්‍රශ්න ඇතිවේවි. හතළිහේ දශකයේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කර ඇත්තේ සියලුම ජාතීන් නියෝජනය වන අයුරිනි. අපේ රටේ සංස්කෘතිය හා සභ්‍යත්වය එයින් නිර්මාණය වෙනවා.
දැනට පවතින ජාතික ගීයෙන් සියලුම ජාතීන් අතර සමඟිය හා සහෝදරත්වය ඇතිවී තිබෙනවා. සියලුම ජාතීන් වර්තමානයේ තිබෙන
ජාතික ගීයට ගෞරව කරනවා. දේශපාලනඥයන් තමයි මේ රට අවුල් කරන්නේ. නැති ප්‍රශ්න ඇතිකරන්න එපා යැයිද කීහ.
ජාතික ගීයට හෙට අරාබි වචනත් එක් වෙයි - අතුරලියේ රතන හිමි
ජාතික ගීයට අද දෙමළ වචන එක් කලහොත් හෙට දිනයේ මුස්ලිම් (අරාබි) වචනත් එක් වනු ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ ලෝකයේ ඕනෑම රටකට ඇත්තේ එක් ජාති ගීයක් පමණක් බවයි.
‘‘ලෝකයේ සෑම රටකම ජාතීන් විශාල පිරිසක් ජීවත් වෙනවා. හැබැයි රටකට තියෙන්නෙ එක ජාතික ගීයක් පමණයි. ඒක ඒ රටේ ජීවත්වෙන සෑම ජාතියක්ම පිළිගන්නවා. ගෞරව කරනවා.
හැබැයි ලංකාවේ ජාතික ගීය දැන් එක එක කතා කියලා කෑලිවලට කඩන්න සැලසුම් කර තිබෙනවා. අද දෙමළ භාෂාවේ කෑලි එකතු කළොත් හෙට මුස්ලිම් ජාතිකයනුත් ඔවුන්ගේ භාෂාවෙන් ජාතික ගීයට කොටස් එකතු කරන්න කියාවි’’ යයිද උන් වහන්සේ අදහස් දක්වති.
ජාතික ගීයට දමිළ පද එකතු කිරීමේ යෝජනාවක් ගෙන ඒම විමතියට කරුණක් - ජාතික නිදහස් පෙරමුණ
ජාතික ගීයේ තිබෙන ඇතැම් කොටස් දමිළ පද හා සිංහල පද සහිතව ප‍්‍රතිනිර්මාණය කිරීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය යෝජනා කර ඇති බවට ඊයේ(24) පළ වූ මාධ්‍ය වාර්තා දැක අපි විමතියට පත් වීමු.
සිංහල හා දමිළ පද සහිතව ප‍්‍රතිනිර්මාණය වන මෙම නව ජාතික ගීය ලබන මස 04 වැනිදාට ත‍්‍රිකුණාමලයේදී පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ගායනා කිරීමට නියමිත බවත් එය අනුමැතිය සඳහා ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කර ඇති බවත් විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එම මාධ්‍ය වාර්තා මගින් ප‍්‍රකාශ කර තිබිණි.
‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ‍්‍රී ලංකා මාතා’ ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව හා සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේය’’ යනුවෙන් මෙරට උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 7වන ව්‍යවස්ථාවෙහි පැහැදිලිව දක්වා ඇත.
එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවෙහි පැහැදිලිව සඳහන් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි ඉතා වැදගත් ව්‍යවස්ථා එනම් 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 83 මෙන්ම 30(2), 62(2) අනුව්‍යවස්ථා සංශෝධනය කිරීමට හෝ පරිච්ඡුින්න කොට ප‍්‍රතියෝජනය කිරීමට හෝ පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්ද බලයක් සහ ජනමත විචාරණයකදී අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවය.
එසේ තිබියදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 7වන ව්‍යවස්ථාවෙහි සඳහන් ජාතික ගීය මෙලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කටයුතු කරන බව ඇසීමෙන් ජාතික නිදහස් පෙරමුණේ අපි ඉමහත් විමතියට පත් වීමු.
ජාතික සංහිඳියාවට පාර කැපිය හැක්කේ මෙවැනි පටු ක‍්‍රියාවන් තුළින් නොවේ. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කෙරෙන දිගු කාලීන වැඩපිළිවෙළක් අවශ්‍යව තිබේ. ඒ තිබියදී මෙසේ වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් සිදු වන්නේ ජාතික සමගිය පලූදු වීම මිස අනෙකක් නොවේ.
පි‍්‍රයන්ජිත් විතාරණ
ප‍්‍රධාන ලේකම්, ජාතික නිදහස් පෙරමුණ
Posted in:
srienews.com
0 comments for "ජාතික ගීයට දෙමළ භාෂාවත් එක් කිරීම සම්බන්ධව අදහස්"
Leave a reply