පොල් ගෙඩි 8ක් සොරකම් කල දැරියව වරදකාරිය කරන්න අධ්‍යාපන ලොක්කෝ උත්සාහයක
පන්ති කාමරයේ තීන්ත ගෑමට රුපියල් 800ක් සොයා ගන්නට පොල් ගෙඩි අටක් සොරකම් කෙළේය යන චෝදනාව සම්බන්ධයෙන් රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදාහැර සිටින පාසල් ශිෂ්‍යාව පිට වරද පටවා අධ්‍යාපන ලොක්කෝ පව් සෝදා ගැනීමේ උත්සාහයක යෙදී සිටිති.අධ්‍යාපන ලොක්කන්ට එයට මඟ පාදා තිබෙන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ පී. එන්. අයිලප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් ඒ පිළිබඳ කළ පරීක්‍ෂණයකින් අනතුරුව බස්නාහිර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට බාරදී ඇති වාර්තාවක් මඟිනි.
එම ශිෂ්‍යාව මුදල් දීමේ අවශ්‍යතාවෙන් නිදහස් කර ඇති බවත්, මුදල් එකතු කිරීමට එකඟත්වය ලබාගත් පන්ති කාමරයේ මවුපියන් ඒ පිළිබඳ විදුහල්පතිවරයාට දැන්වූ විට විදුහල්පතිවරයා එයට එකඟ වූ බවත්, එම ශිෂ්‍යාවගේ පවුලේ දරුවන් පාසලට පැමිණීම දුර්වල නිසා විදුහල්පතිවරයා විසින් 2012 වසරේදී ආදි සිසුවකුගේ සහාය ඇතිව ග්‍රාම නිලධාරියාද සම්බන්ධ කරගෙන රුපියල් 13,000ක අධික වටිනාකමක් ඇති පාසල් උපකරණ පරිත්‍යාග කර ඇති බවත්, එවැනි උපකාර ලැබුණු බව ශිෂ්‍යාවගේ මව පිළිගෙන ඇති බවත්, එම වාර්තාවේ සඳහන් වෙයි.
එසේම මේ දැරිය ජනවාරි නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු
මුල්වරට පාසලට පැමිණ ඇත්තේ ජනවාරි මාසයේ අවසාන දින තුන පමණක් බවත්, ඒ වනවිට පන්ති කාමරයේ තීන්ත ගෑමට අදාළ තීරණ ගැනීම අවසන් වී තිබූ බවත්, පෙබරවාරි 4 වැනිදා වෙනත් අයකුගේ ඉඩමකින් පොල් ගෙඩි කීපයක් අහුලා ගත් බවට සිසුවිය කර තිබෙන ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් එම වාර්තාව සඳහන් කරයි.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සිය වාර්තාවෙන් මෙවැනි නිරීක්‍ෂණ ප්‍රකාශ කර ඇතත්, සිද්ධියට අදාළ ශිෂ්‍යාවගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගත් බවක් වාර්තාවේ සඳහන් වන්නේ නැත.
පාසල් උපකරණ ආධාර වශයෙන් ලැබුණු බවත්, මාසික පහසුකම් හා සේවා ගාස්තු අය කිරීම නොකළ බව විදුහල්පතිවරයා කරන ප්‍රකාශ දැරියගේ මව පිළිගන්නා බව කලාප අධ්‍යක්‍ෂවරයාගේ වාර්තාවේ ළාවට සඳහන් කර ඇතත් පරීක්‍ෂණයේදී මවගෙන් කිසිදු කරුණු විමසීමක් කළ බවක් එම වාර්තාව කියැවීමෙන් පෙනෙන්නේ නැත.
එම වාර්තාවට අනුව අටවැනි ශේර්ණියේ පන්ති කාමරයක තීන්ත ගෑම සඳහා එම පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් රුපියල් 800ක මුදලක් අය කිරීමට කටයුතු කර තිබෙන්නේ එහි විදුහල්පතිවරයාගේ අනුදැනුම ඇතිව බවද එම වාර්තාවේ සඳහන් කරයි.
2013 නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු පසුගිය 8 වැනි දින ඉහත සඳහන් ශිෂ්‍යාව ඉගෙන ගන්නා පන්තියේ පන්ති රැස්වීමක් පවත්වා ඇති බවත් එම රැස්වීමේදී පැමිණ සිටි මවුපියන් විසින් තම දරුවන්ගේ පන්ති කාමරයට වානේ අල්මාරියක් ලබා දීමටත් ඩෙස්ක් කීපයක් ලබා දීමටත් සියලුම ඩෙස්ක් හා පුටුවල අවශ්‍ය අලුත්වැඩියා කිරීම් කර තීන්ත ආලේප කර දීමටත් තීරණය කරනු ලැබ ඇත. ඒ සඳහා එක් අයකුගෙන් රුපියල් 800 බැගින් එකතු කිරීමටත් මවුපියන් විසින් තීරණය කරනු ලැබ ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගේ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කොට ඇත.
බස්නාහිර පළාත් සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'සුපසන් නිම්තෙර' අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ හොරණ ශ්‍රී මේධංකර විද්‍යාලයේ ගොඩනැඟිලි තීන්ත ආලේප කිරීමේ කටයුතු සඳහා රුපියල් එක් ලක්‍ෂ පනස් දහසක මුදලක් ලබා දී තිබූ බව එම පරීක්‍ෂණ වාර්තාවේ පෙන්වා දී තිබේ.
කිසිදු විදුහලක පන්තිකව මඟින් ළමයින්ගෙන් මුදල් එකතු කිරීමට නිල අවසරයක් ලබා දී නොමැති බවද බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කීවේය.
ළමයින් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී මවුපියන්ගෙන් මුදල් අය කෙරෙන පාසල් ප්‍රධානීන් වේ නම් බස්නාහිර පළාත් සභාවේ සහකාර අධ්‍යක්‍ෂවරයකු යටතේ ක්‍රියාත්මක වන විශේෂ විමර්ශන අංශයට දැනුම් දෙන ලෙසද බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සඳහන් කෙළේය.
මීට පෙර අවස්ථා කීපයකදීම එවැනි අන්දමට මුදල් අයකළ සිද්ධි ගැන පරීක්‍ෂණ පවත්වා එම මුදල් ආපසු ලබා දීමට පියවර ගත් බව ඔහු කීවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මේ පිළිබඳ හොරණ පොලිසිය පරීක්‍ෂණ පවත්වා ඇති බවත්, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 367 වැනි වගන්තියේ දඬුවම් ලැබිය හැකි සොරකම නමැති වරද පොලිස් ස්ථානය මඟින් කිසිසේත්ම සමථ කළ නොහැකි වරදක් වන බවයි. එම වරදට අත්අඩංගුවට ගත් අයකුට ඇප දීමට පොලිස් ස්ථානාධිපතිට බලතල නොමැති බවද ඔහු පෙන්වා දී ඇත. එම ඉල්ලීම කළ යුත්තේ අදාළ බල ප්‍රදේශයේ අධිකරණයට කරුණු වාර්තාකොට අධිකරණයේ අභිමතය සහ අවසරය මත බවද ඔහු සඳහන් කොට ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹින් යවා ඇති විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වන බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පැවැසීය. සිද්ධියට අදාළ පැමිණිලිකරු සමථ මණ්ඩලයට යෑම ප්‍රතික්‍ෂේප කර ඇද්ද යන්න ගැනද පරීක්‍ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයා පරීක්‍ෂණ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඉහත සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පැවැසුවේ සැකකාරිය ළමයකු වූ නිසා නීතිය වෙනස් අන්දමින් ක්‍රියාත්මක වන බවයි. පොලිසිය කටයුතු කර ඇත්තේ නීතියට පටහැනිව බවද ඇය පැවැසුවාය. සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා යෞවන ආඥාපනතේ 14 ඡේදයේ 1වැනි වගන්තිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බවද ඇය සඳහන් කළාය.
වයස අවුරුදු 18ට අඩු අයකු රුපියල් 5000ට කට නොවැඩි අපරාධයක් සිදුකළ විට ඒ පිළිබඳ විභාගය සමථ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් කමලනි ද සිල්වා මහත්මිය පැවැසුවාය. පොලිසියද නීති විරෝධීව ක්‍රියා කර ඇති බව ඇය පවසන්නීය.
Posted in:
srienews.com
0 comments for "පොල් ගෙඩි 8ක් සොරකම් කල දැරියව වරදකාරිය කරන්න අධ්‍යාපන ලොක්කෝ උත්සාහයක"
Leave a reply