ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

රැකියා විරහිතයින් බිහිකරන අධ්‍යාපනයෙන් වැඩක් නැහැ

රටේ උගත් සහ බුද්ධිමත් බවේ තීරණාත්මක මිණුම් දණ්ඩක් සේ සැලකෙන උපාධිය ලැබූවන් රැකියා විරහිතව, ‘‘රැකියා දියව්’’ ලෙස සටන් පාඨ කියමින් ලිප්ටන් වටරවුම, හෝ පිටකොටුව දුම්රිය නැවතුම් පොළ ඉදිරිපිට මාර්ගය පැදකුණු කරන බව රහසක් නොවන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඒ පිළිබඳව හා මෙරට අධ්‍යාපන ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍යංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේ යැයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

ඉල්ලූම් කරුවන්ගේ ප‍්‍රමාණයට රැකියා අවස්ථා ලබාදීමේ අපහසුතාවය මහජන දිනයේදී දේශපාලනඥයින් මුහුණ දෙන ප‍්‍රධානතම ගැටලුව යැයි පැවසීම මුසාවක් නොවේ. එසේ වුවද
අප රටේ රැකියා අවස්ථා බොහොමයකට සුදුස්සන් සොයා ගැනීමේ අපහසුතාවයද සති අන්ත පුවත් පත් පරිශිලනය කිරීමේදී හොඳින්ම තහවුරුවේ. තත්ත්වය එසේ තිබියදී රටේ උගත් සහ බුද්ධිමත් බවේ තීරණාත්මක මිණුම් දණ්ඩක් සේ සැලකෙන උපාධිය ලැබූවන් රැකියා විරහිතව, ‘‘රැකියා දියව්’’ ලෙස සටන් පාඨ කියමින් ලිප්ටන් වටරවුම, හෝ පිටකොටුව දුම්රිය නැවතුම් පොළ ඉදිරිපිට මාර්ගය පැදකුණු කරන බවද රහසක් නොවේ.

මේ තත්ත්වය සැබවින්ම කියාපාන්නේ අධ්‍යාපනයේ ‘‘වැරදුන මග’’ පිළිබඳව නොවේ යැයි කාටනම් කිව හැකිද?. ලොව සංවර්ධිත රටවල් සියල්ලක්ම ඒ තත්ත්වය උදාකරගෙන ඇත්තේ කාර්මික අධ්‍යාපනය වැඩි දියුණු කිරීමෙනි. එම රටවල පාසැල් අධ්‍යාපනය නිම කරන පිරිසෙන් අවම වශයෙන් 40% ක් කාර්මික අධ්‍යාපනය ලබයි. අපේ රටේ එය 16% ක තරමේ ප‍්‍රමාණයකි. මේ තත්ත්වය අවම වශයෙන් දෙගුණයක් දක්වා හෝ වැඩි කිරීම ජාතික අවශ්‍යතාවයකි. එසේ නොවන තරමටම රටේ සංවර්ධනයද අසීරුය.

පෙර කී රැකියා අවස්ථා සඳහා සුදුස්සන් සොයා ගැනීමේ අපහසුතාවය පිළිබඳ කරුණ කෙරෙහි ඔබගේ අවධානය නැවත යොමු කරමි. බොහෝ ආයතනවල රැකියා අවස්ථා නිර්මාණය වී ඇත්තේ පුහුණු ශ‍්‍රමය පදනම් කර ගෙනය. අදාළ වෘත්තීන්හි පුහුණු ශ‍්‍රමිකයින්ගේ අඩුව රැකියා ඇබෑර්තු සඳහා සෘජුවම බලපායි. අදාළ වෘත්තින් සදඟා ඒ පිළිබඳ දැනුම ඇති අය විනා වෙනත් අය බඳවා ගැනීමෙන්ද ඵලක් නැත. නමුත් ‘‘රැකියා දියව්’’ ලෙස පවසන්නන් හෝ මහජන දිනයේ දේශපාලනඥයින් සොයා එන බොහොමයක්, තිබෙන රැකියා සඳහා සුදුසුකම් ලද අය නොවේ . අප මෙන්ම රටද මුහුණ දෙන ගැටලුව නිර්මාණය වනනේ මෙතැනදීය.

ඒ නයින් බලන කල, අප රටේ ඇත්තේ රැකියා හිඟයක් නොව, තිබෙන රැකියාවන් සඳහා වූ සුදුස්සන්ගේ හිඟයකි. ඊට අමතරව බොහෝ පිරිස් උගත් දේට සරිලන රැකියාවන්ගේ හිඟයක්ද පවති. එසේ නම් රටක් ලෙස අප කළ යුත්තේ රටතුළ රැකියා අවස්ථා හඳුනාගෙන ඒ අනුව අධ්‍යාපන ක‍්‍රමය සැකසීමයි. මෙම සාකච්ජාවට පාදක වූ අරමුණද මේ අභියෝගය ජය ගැනීම වෙනුවෙනි.

මේ තත්ත්වය අවබෝධ කරගත් පළමු දේශපාලනඥයා මෙන්ම අධ්‍යාපනඥයාද වන්නේ ආචාර්ය. සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාය. එතුමාගෙන් පසුව වත්මන් ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා ද? මේ තත්ත්වය හොදින්ම අවබෝධ කරගෙන තිබේ. කන්නන්ගර අධ්‍යාපන ක‍්‍රමය තුළ පාසැල් අධ්‍යාපනයෙන් පසුව දරුවාගේ මග තීරණය වුයේ පාසැල තුළදීමය. එතුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය තුළ ඊට අදාළ පසුබිම පාසැල තුළම නිර්මාණය වී තිබුණි. එයින් පසුව පැවැති අධ්‍යාපන ක‍්‍රමය තුළ කාර්මික අධ්‍යාපනය, පාසැල් හැර ගිය දරුවන් වෙනුවෙන් පමණක් වෙන්විය. එසේත් නොමැති නම් විශ්ව විද්‍යාලයට යාගත නොහැකි දරුවන් වෙනුවෙන් වෙන් කළේය. මේ නිසාම විශ්ව විද්‍යාලයට වරම් නොලැබූ දරුවන් තුළ ඇති වූයේ පරාජිත හැඟීමකි. එය අපගේ අධ්‍යාපන ක‍්‍රමය තුළ සිදුවූ බරපතළ අත්වැරදීමකි.

පාසැල් අධ්‍යාපනය ලබන සියලූ දරුවන්ට විශ්ව විද්‍යාලයට යා නොහැකි බව සත්‍යයකි. නමුත් විශ්ව විද්‍යාල වරම් ලැබූවන් මෙන්ම, නොලැබූවන්ගේද අධ්‍යාපනය සැලසුම් කල යුත්තේ රැකියා ඉලක්ක කර ගෙනය. අතමිට සරු අය දැනුම සඳහා ලබන අධ්‍යාපනය ද වරදක් නැත. ඒසේ වන්නේ නම් ‘‘රැකියා දියව් ’’ යන සටන් පාඨ නොඇසේ. තෘතීය අධ්‍යාපනයේ විශ්ව විද්‍යාල නොවන කොටස වෙනුවෙන් යම් බර තැබීමකට අධ්‍යාපන අමාත්‍යංශය සමග යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය අත්වැල්බැඳ ගන්නේද මේ නිසාය. ඒ සඳහා හෙට කොළඹ ආනන්ද විද්‍යාලයේදී තබන පියවරේ ප‍්‍රතිඵල එක රැයින් නොපෙනෙන්නට පුළුවන. නමුත් එහි දිගු කාලීන ප‍්‍රතිඵල යහපතක්ම ගෙන එන බව නොඅනුමානය.

ඒ වෙනුවෙන් ඉදිරි පියවරයන් කිහිපයක්ම අප දෙඅමාත්‍යංශ විසින් මේ වසරේ සිට කි‍්‍රයාවට නැංවීමට සැලසුම් කර ඇත. එයින් ප‍්‍රධානම කාර්යය වන්නේ අ.පො.ස. උ.පෙළ, විද්‍යා, ගණිත, වාණිජ, කලා, විෂය ධාරාවන්ට අමතරව ‘‘තාක්ෂණය’’ නමින් විෂය ධාරාවක්ද එක් කිරීමයි. තාක්ෂණය විෂය ධාරාවට අදාළ ප‍්‍රායෝගික කොටස යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය බාරගෙන තිබේ.

හෙට (11) කොළඹ ආනන්ද විද්‍යාලයේදී මේ ඓතිහාසික දැවැන්ත වැඩපිළිවෙළේ සමාරම්භය සනිටුහන් වීමද ආනන්දයටම කරුණකි. සියලූ පාසැල්වල මෙම වැඩපිළිවෙළේ ඉදිරියේදී ක‍්‍රියාවට නැංවෙනු ඇත. මෙරට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් සේ සැලකෙන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට හැකිවීමද සතුටට කරුණකි.පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් 40% ක් කාර්මික අධ්‍යාපනය සඳහා යොමු කිරීමට මේ මගින් යම් පිටුබලයක් ලැබෙනු ඇත. ඒ නිසාම එය රටේ යහපත පිණිසම වේ.

Posted in: ,

0 comments for "රැකියා විරහිතයින් බිහිකරන අධ්‍යාපනයෙන් වැඩක් නැහැ"

Leave a reply