මාළු කාරයෙකුයි සෙබළෙකුයි දාල කෙරෙව්ව උතුරුමැද ආයුර්වේද කොමසාරිස්ට ඇසිඞ් ගැසූ සුලමුල එළිවෙයි
උතුරු මැද ආයුර්වේද කොමසාරිස් උදයසිරි චන්ද්‍රකුමාර අල්විස් මහතාට ඇසිඞ් ගැසූ
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ඒ සම්බන්ධව සැකපිට ආයුර්වේද වෛද්‍යවරයෙකු මාළුවෙළෙන්දෙකු හා හමුදා සෙබළෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සිදු කළ පාපොච්චාරණය අනුව ඇසිඞ් ගැසීම පුද්ගලික කෝන්තරයක් පිරිමසාගැනීමට කළ එකක් බව දැන් අනාවරණය වී තිබෙනවා. වාර්තා වන ආකාරයට අල්ලාගත් එක් පුද්ගලයෙක් කොමසාරිස් පුටුවට ඇසගසාගෙන සිටි ආයුර්වේද වෛද්‍යවරයෙක් වන අතර තව අයෙකු යුද හමුදා සෙබළෙකුද අනෙකා නිට්ටඹුවේ මාළු වෙළෙන්දෙක්ද බව පොලිසිය කියනවා.
මට්ටක්කුලියේ පිහිටි යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබළා මේ වනවිට අත්අඩංගුවේ පසුවන ආයුර්වේද වෛද්‍යවරයා කිට්ටුවෙන් ඇසුරු කර තිබෙනවා. වෛද්‍යවරයාගේ ඉල්ලීම වී ඇත්තේ කොමසාරිස්වරයාට පහරදී බිය ගන්වන ලෙසයි. ඉකුත් 21 වැනිදා හමුදා සෙබළා නිට්ටඹුවට පැමිණ මාළු විකුණන මිතුරාද කැටුව කිරිල්ලවල ප‍්‍රදේශයට ගොස් එහි තිබූ වාහන කුළියට දෙන තැනකින් මෝටර් සයිකලයක් කුලියට ගෙන ඒ අවට වෙළෙඳ සැලකින් ඇසිඞ් බෝතලයක්ද මිලට ගෙන තිබෙනවා.
අනතුරුව පැවරූ කටයුත්ත ඉටු කිරීමට අනුරාධපුරය බලා ගොස් ඇත. 21 වැනිදා සවස ආයුර්වේද කොමසාරිස්වරයාගේ නිල නිවසට පැමිණි නමුත් කොමසාරිස්වරයා එම අවස්ථාවේ නිවසේ සිට නැත. අනතුරුව බොරු කතාවක් ගොතාගෙන පසු දින අළුයම නිවසට පැමිණ ඇසිඞ් ප‍්‍රහාරය එල්ල වන්නේ ඒ අනුවය.
අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා පවසන්නේ ඔහුට ආයුර්වේද කොමසාරිස්වරයා බොහෝ හිරිහැර කළ බවයි. සුදුසුකම් අනුව උතුරුමැද ආයුර්වේද කොමසාරිස් තනතුරට සුදුසු පුද්ගලයා තමා බව මෙම වෛද්‍යවරයා පවසයි. එහෙත් එම තනතුර සඳහා තමන්ට පත් වන්නට ඉඩ නොදෙමින් දේශපාලන බලය යොදා ගනිමින් අයුර්වේද කොමසාරිස්වරයා අට වසරක් තිස්සේ වැඩ බලන කොමසාරිස් හැටියට කටයුතු කර තිබෙන බව සැකකාර වෛද්‍යවරයා කියනවා.
ආයුර්වේද කොමසාරිස් තනතුර පමා වන්නට හේතුව තමන් බව සැක කරමින් තමන්ට විරුද්ධව විනය පරික්ෂණ පවා සිදු කළ බව වෛද්‍යවරයා පවසනවා.තමන්ගේ උසස්වීම් හා වෘත්තියේ ඉදිරි ගමන මුළුමනින්ම මේ නිසා ඇණහිටිය බව ඔහු කියයි. දේශපාලන බලය යොදා ගෙන උතුරුමැද අයුර්වේද කොමසාරිස් තනතුරට පත් වීමෙන් පසුවද තමන්ට ස්ථානමාරු වීම් ලබා දුන් බව මෙම වෛද්‍යවරයා සඳහන් කරා. මේ අනුව මින්නේරියේ සිටි තමාව වසරකට පෙර අනුරාධපුරයට මාරු කර යැවූ බව හෙතෙම සඳහන් කරා.මෙම හිරිහැර නිසා කොමසාරිස්වරයාට පහර දී බියගන්වන ලෙසට තමන් හිතවත් මින්නේරියේ පදිංචි තරුණයාට උපදෙස් දුන් බව වෛද්‍යවරයා පවසනවා. පසුගිය වසරේ සිට අධ්‍යයන නිවාඩු දමා කොළඹ පැමිණ පශ්චාත් උපාධියට සූදානම් වන බවත්, නාවින්න ආයුර්වේද මූලස්ථානයට දිනපතා වර්තා කළ බවත් ඔහු කියූ අතර මෙම ඇසිඞ් ප‍්‍රහාරයට පෙර අවශ්‍ය වියදම් සඳහා රුපියල් 25,000ක මුදලක් හමුදා සෙබළාට ලබා දුන් බව වෛද්‍යවරයා හෙළිදරව් කර තිබේ.
ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කිරීමෙන් පසු නිට්ටඹුවට පැමිණි සෙබළා සිය මිතුරා එහි බස්වා යළි මින්නේරියට ගොස් ඇත. මින්නේරියේ පිහිටි වෛද්‍යවරයාට අයත් නිවසේදී දෙදෙනා හමු වී සිද්ධිය පිළිබඳ සාකච්ජා කර තිබේ. උතුරුමැද ආයුර්වේද කොමසාරිස් උදයසිරි චන්ද‍්‍රකුමාර මහතාට එල්ල වූ ඇසිඞ් ප‍්‍රහාරය ගැන පරීක්ෂණ ආරම්භ කළ පොලිසියේ අවධානය මුලින්ම යොමු වූයේ අනුරාධපුරයේ ආයුර්වේද සම්භාහන ආයතන මුවාවෙන් පවත්ව ගෙන යන ගණිකා මඩම් කෙරෙහිය. මන්ද කොමසාරිස්වරයා මෙම සම්භාහන ආයතනවලට එරෙහිව විවිධ හෙළි කිරීම් කර තිබූ බැවින්ය.
නමුත් ඇත්ත තත්වය වෙනත් එකක් බව මේ අනුව එළිදරව් කරගෙන ඇත. සැකකරුවන් අධිකරණ යමුවට පමුණුවන්නට නියමිතයි.
මෙම සිද්ධිය නිසා කොමසාරිස්වරයාගේ එක් ඇසක පෙනීම අහිමිව ඇති අතර අනෙක් ඇස සුවකිරීමට වෛද්‍යවරු උත්සාහයක නිරත වනවා.

0 comments for "මාළු කාරයෙකුයි සෙබළෙකුයි දාල කෙරෙව්ව උතුරුමැද ආයුර්වේද කොමසාරිස්ට ඇසිඞ් ගැසූ සුලමුල එළිවෙයි"
Leave a reply