ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නීතිගරුකව සිය රාජකාරිය අකුරටම ඉෂ්ට කරන නිලධාරියකු ලෙස ප්‍රසිද්ධියක්‌ උසුලන උතුරු මැද ආයුර්වේද කොමසාරිස්‌ට ඇසිඩ් ප්‍රහාරයක්‌


උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්‌ වෛද්‍ය එල්. සී. යූ. කුමාර අල්විස්‌ මහතාගේ නිල නිවසට 22 දා අලුයම 4.50 ට පමණ පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඒ මහතාට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ලකර පලා ගොස්‌ ඇත.ඇසිඩ් ප්‍රහාරයෙන් ඒ මහතාගේ මුහුණ සහ පපු ප්‍රදේශය දරුණු ලෙස පිළිස්‌සුම් තුවාල සිදුවී ඇත. ප්‍රතිකාර සඳහා ඒ මහතා අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුණු අතර, අනතුරුව දෑස්‌වලට සිදුවී ඇති තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ ඇස්‌ රෝහල වෙත රැගෙන යන ලදී.


නීතිගරුකව සිය රාජකාරිය අකුරටම ඉෂ්ට කරන නිලධාරියකු ලෙස ප්‍රසිද්ධියක්‌ උසුලන වෛද්‍ය කුමාර අල්විස්‌ මහතා අසරණ රෝගීන් වෙනුවෙන් සිය ජීවිතය කාලයම වෙන් කළ අයකු ලෙස කීර්තියක්‌ දිනා ඇත.
නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම නිසා ඒ මහතා සමඟ උරුණ වූ කිසියම් පිරිසක්‌ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
ප්‍රතිකාර ගැනීමට අසාධ්‍ය රෝගියකු පැමිණියහොත් දවසේ ඕනෑම වේලාවක
ඒ සඳහා ඉදිරිපත් වීම අල්විස්‌ මහතාගේ ප්‍රතිපත්තියක්‌ බව ආයුර්වේද රෝහල් කාර්ය මණ්‌ඩලය පවසයි.
ඊයේ අළුයම 4.50 ට පමණ ඒ මහතාට ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් ද නිල නිවසට පැමිණ ඇත්තේ ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියකු රැගෙන ආ බව කියමින්ය.
ඇසිඩ් ප්‍රහාරය එල්ලවූ අවස්‌ථාවේ කුමාර අල්විස්‌ මහතාගේ බිරිඳ වන වෛද්‍ය අල්විස්‌ මහත්මිය ද නිවසේ සිට ඇත.
දැඩි ලෙස පිළිස්‌සුම් තුවාල ලබා විලාප නගමින් සිටි අල්විස්‌ මහතා වහාම අනුරාධපුර ශික්‌ෂණ රෝහල වෙත රැගෙන යැමට ඇය කටයුතු කර තිබේ. පරීක්‍ෂණවලින් හෙළිවූයේ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් දෙදෙනා 21 දාරාත්‍රි 9.00 ට පමණ නිල නිවසට පැමිණ වෛද්‍යවරයා පිළිබඳව එහි සිටි සේවිකාවකගෙන් විමසා ඇති බවයි.
ඒ අවස්‌ථාවේ වෛද්‍ය අල්විස්‌ මහතා සිය බිරිඳ සහ දරුවන් සමඟ කොළඹ ගොස්‌ සිට ඇත. අල්විස්‌ මහතා එදින මධ්‍යම රාත්‍රියේ සිය බිරිඳ සහ දරුවන් සමඟ අනුරාධපුරයේ නිල නිවස වෙත පැමිණ තිබේ. ඊයේ අලුයම 4.50 ට පමණ අනුරාධපුර නගරයේ පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් නිල නිවසේ වෛද්‍ය අල්විස්‌ මහතා නිදා සිටියදී පැමිණ ඇති සාහසිකයන් දෙදෙනා දොරට තට්‌ටුකර වෛද්‍යවරයා අවදි කර ඇත.
ඒ අවස්‌ථාවේ සිය නිල නිවසේ දොර විවෘත කර ඔවුන් දෙදෙනාට නිවස ඇතුළට පැමිණ අසුන් ගන්නා ලෙස අල්විස්‌ මහතා කළ දැනුම් දීමකට අනුව එක්‌ අයකු එහි ඇතුළු වී අසුන්ගෙන තමන් ආ කාරණය පිළිබඳව වෛද්‍යවරයාට පවසා තිබේ.
ඔවුන් එසේ කතා බස්‌ කරමින් සිටියදී කිසියම් දුගඳක්‌ වහනය වීම නිසා "මොකක්‌ද ගඳක්‌ එනවා" යෑයි වෛද්‍යවරයා පවසා ඇත. ඒ අවස්‌ථාවේ ක්‍රියාත්මක වී ඇති නිවසින් පිටත සිටි සාහසික පුද්ගලයා නිවස තුළට කඩා වැදී එක්‌වරම වෛද්‍යවරයාගේ මුහුණට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වෛද්‍ය අල්විස්‌ මහතාගෙන්, ඔහුගේ බිරිඳගෙන්, දරුවන්ගෙන් සහ සේවිකාවකගෙන් කටඋත්තර ලබාගෙන තිබේ.
 ඇසිඩ් ගැසූ අපරාධකරුවන් දෙදෙනා ඇල්ලීම අනුරාධපුර කොට්ටාශ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක මහතාට භාර දී තිබේ.
රත්නායක මහතා ඉතා දක්ෂ අපරාධ විමර්ෂකයකු වශයෙන් නමක් දිනා සිටින අයෙකි. ඔහු වෙත ඇසිඩ් ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ භාර දී තිබෙන්නේ උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් අබේසිරිවර්ධන මහතා විසින් ය.
ඉදිරි දින දෙක තුන ඇතුළත ඇසිඩ් ප්‍රහාරය සම්බන්ධ වූ සියලුම අපරාධකරුවන්   රත්නායක මහතා විසින් අත්අඩංගුවට ගනු ඇතැයි විශ්වාස කෙරේ. මෙය වෘත්තීය පළිගැනීමක්ද, නැත්නම් රාජකාරි මට්ටමින් ඇති වූ පළිගැනීමක්දැයි යන කරුණු දෙක කෙරෙහි විශේෂ අවධානය යොමුකර පරීක්ෂණ ආරම්භ වී තිබේ. 

Posted in:

0 comments for "නීතිගරුකව සිය රාජකාරිය අකුරටම ඉෂ්ට කරන නිලධාරියකු ලෙස ප්‍රසිද්ධියක්‌ උසුලන උතුරු මැද ආයුර්වේද කොමසාරිස්‌ට ඇසිඩ් ප්‍රහාරයක්‌ "

Leave a reply