ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලේ එම්. ආර්. අයි. ස්‌කෑන් යන්ත්‍රය පිපිරී පස්‌ හැවිරිදි දැරිය මරුට

කොළඹ පෞද්ගලික රෝහලකදී එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුකොට ගෙන මියගිය බුද්ධිනී කෞෂල්‍යා (05) නැමැති සිඟිති දැරිය පිළීබද සිදුවිමේ කනගාටු දායක කතාව දැරියගේ මව වන චමිලා කුමාරි මහත්මිය පැවසුවාය.

සපුගස්‌කන්ද මාබිම අංක 43/4 දරන ලිපිනයෙහි පදිංචිව සිටින ඔවුන් හමුවීමට අප යන විට මියගිය බුද්ධිනී දැරියගේ දේහය නිවසේ තැන්පත් කර තිබිණි.
09 දා අවසන් ගමන් යන තම දියණියට සිදු වූ විපත ගැන චමිලා මහත්මිය වැඩිදුරටත් අපට පැවසූ තොරතුරු මෙසේය.
“ බබාට පොඩි උණ ගතියක් ආවා. ඉතින් මම 31 වෙනිදා උදේ දුව හොස්පිට්ල් එකට ඇතුල් කළා. ඩොක්ටර් කීවා, ඊ.සී.ජී. ‍රිපෝට් එකකුයි, එම්.ආර්.අයි. ස්කෑන් එකකුයි ගන්න ඕන
කියල. මුලින් ඊ.සී.ජී රිපෝට් එක ගත්තා. එම්.ආර්.අයි. එක ගන්න නියම වෙලා තිබුණේ පළමුවෙනිදා හවස. ඒක ගන්න මම දුව අරං ගියේ තවත් ඇටෙන්ඩන් කෙනෙක් එක්ක. එතන හිටියේ වෛද්‍යවරියක්.
එයා දුවගේ උණ බැලුවා. උණ තිබුණේ නෑ. බබාගේ විස්තර සේරම අහලා බබාව ඇ‍‍ඳෙන් තියලා, මම ඉන්න තැනම බබාව සිහි නැති කරලා ඔක්ෂිජන් සප්ලයි ගහලා එයා කීවා, බබා දැන් රෙඩි කරලයි ඉන්නේ. අම්මා ගිහිං වාඩි වෙලා ඉන්න කියල.
ඉතිං මම එළියට ඇවිත් වාඩි වුණා. එතෙන්ට ඇතුලේ වෙන දේවල් හොඳට පේනවා. ඉතිං බාබා ඇතුලට දාලා විනාඩි දහයක් විතර මැෂින් එක ක්‍රියාත්මක වෙනකොට එක පාරටම ලොකු සද්දයක් ආවා. වෛද්‍යවරිය කෑගැහුවා. “අනේ බබාගෙ බෑග් එක පිපුරුවා. කවුරු හරි එන්න මට උදවු කරන්න... ප්ලාස්ටර් කරන්න අලුත් බෑග් එකක් ගන්න” කියලා. එත් එතන කිසිම කෙනෙක් නෑ. මම කළේ මා එක්ක ආව ඇටෙන්ඩන් තල්ලු කරලා යැවුවා. “බලන්න මගේ බබාට මොකද වෙලා තියෙන්නෙ?” කියලා. මොකද මට එතෙන්ට යන්න බැරි නිසයි එයාව යැවුවෙ. ඒ අතරෙ විනාඩි පහක් ගියාම ඩොක්ට ‍කෑ ගැහුවා. “අයියෝ බාබාට ඔක්ෂිජන් වැඩ නෑ. ඔක්ෂිජන් යන්නෑ.. කට්ටියට එන්න කියන්න කියලා. ඊ.ටී.යූ. යුනිට් එකට කෝල් කරන්න.” කියලා කෑගැහුවා. එතකොට මම පැනල ගිහිං බැලුවා. එතකොට එම්.ආර්.අයි. එකෙන් බාබාව දැක්කෙ ‘කලු බෝලයක් වගේ’. ලොකු බඩක් එක්ක මගේ සුදු කෙල්ල එතන වැතිරිලා ඉන්නවා. එතකොට බබාට පණක් තිබුණේ නෑ. කුකුලෙක්ට වගේ තලලා තලලා, නහයට, කටට පිඹලා, පිඹලා හාට් ෆන්ෂන් එකක් ගත්තා ඒ වෙලාවෙ. එහෙම එළියට අරගෙනත් එයාට හරියන ඔක්ෂිජන් සිලින්ඩරයක් ගන්න විනාඩි විස්සක් තරම් පරක්කු වුණා. ඒ වෙනකොට බබාට ඔක්ෂිජන් නැතිව පැය බාගයක් විතර එතන ලත වුණා. ඊට පස්සේ සේරමලා බබාව ගෙනාව ස්පෙෂල් සර්ජිකල් එකට. එතනදී බාබාට ට්‍රීට් කරනවා කියලා එතනත් මට බොරු කළා. මම දැනගෙන හිටියා ඒ වෙනකොටත් බාබා මේ ලෝකෙ හැර ගිහිං ඉවරයි කියලා. පැය බාගයක් දරුවෙක් කොහොමද ඔක්ෂිජන් නැතිව ඉන්නේ. නමුත් පළවෙනිදා හවස ඉඳලා මේ වෙනතුරු බොරුවට මැෂින් ක්‍රියාත්මක කරගෙන බාබාට හුළං පුම්බ, පුම්බ මගේ දරුවව තියාගෙන ඒ ගොල්ලන්ගෙ නීතියේ වාසිය හදා ගන්න දැඟලුවා. ඒ අතර බොරු රිපෝට් දෙනවා.
දැඩි සත්කාර ඒකකයේදී ආධාරක යන්ත්‍ර යොදා දුව ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට වෛද්‍ය කාර්ය මණ්‌ඩලය උත්සාහ කළා. ඒත් දුව ප්‍රකෘති තත්ත්වයට පත්වුණේ නැහැ.
දැඩි සත්කාර ශල්‍ය ඒකකයට ඇතුළු කර හතරවැනි දිනයේදී විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුමින්ද පතිරණ මහතා දුවගේ මොළය අකර්මන්‍ය වී ඇතැයි පැවසුවා. රෝහලේ බලධාරීන් දුවව සම්බන්ධ කර ඇති යන්ත්‍ර ඉවත් කිරීමට ලේඛනවලට අත්සන් තබන ලෙස අපට ඉල්ලීමක්‌ කළා. නමුත් අප එය ප්‍රතික්‍ෂේප කළා.
ඉකුත් 07 වැනිදා දුව ප්‍රකෘති තත්ත්වයට නොපැමිණෙන බව තීරණය කළ වෛද්‍යවරු දුවට සම්බන්ධ කර තිබූ යන්ත්‍ර විසන්ධි කළා.
කොළඹ මහ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී බුද්ධිනී දැරියට ඔක්‌සිජන් සැපයුම අඩාල වීමෙන් මොළය අක්‍රීයභාවයට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ. වැඩිදුර පරීක්‍ෂණ සඳහා දැරියගේ සිරුරේ කොටස්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය මණ්‌ඩලයකට ඉදිරිපත් කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පියවර ගෙන ඇත. ඇයගේ මරණය සම්බන්ධයෙන් වාර්තාවක්‌ මේ මස 11 වැනිදා නිකුත් කිරීමට නියමිතය.
පෞද්ගලික රෝහල භාර රජයේ අධ්‍යක්‍ෂවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ද තීරණය කර තිබේ.




Posted in:

0 comments for "ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලේ එම්. ආර්. අයි. ස්‌කෑන් යන්ත්‍රය පිපිරී පස්‌ හැවිරිදි දැරිය මරුට"

Leave a reply