ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ශ‍්‍රී ලංකාවට බැණ වැදුණු DMK මන්ත‍්‍රීවරිය සිහිසුන්වී ඇද වැටේ



ඉන්දියා රාජ්‍ය සභාවේ ඊයේ පැවැති විවාදයේ දී ශ‍්‍රී ලංකාවේ දෙමළ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් බැණවදිමින් උද්වේගකාරී ලෙස කතා කරමින් සිටි ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් පක්ෂයේ වසන්ති ස්ටැන්ලි මන්ත‍්‍රීවරිය සිහිසුන්වී ඇදවැටීම නිසා සභාවේ කලබලකාරී තත්ත්වයක් උද්ගත විය.

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් ඇය සභාවේ මහ හඬින් කෑගසද්දී ඇගේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙන් ම ප‍්‍රතිවාදී අන්නාද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් පක්ෂයේ මන්ත‍්‍රීවරු ද කොටි නායක ප‍්‍රභාකරන්ගේ පුත‍්‍රයා මැරී සිටින ආකාරය දැක්වෙන ඡයාරූප පෙන්වමින් ඇයට සහය පළ කළහ.

මන්ත‍්‍රීවරිය සිහිසුන්වී සභා ගර්භය මැද්දේ ඇදවැටුණු වහා ම රැස්වීම පස්වරු 2 වන තුරු කල් තැබූ මුලසුනේ සිටි රේණුකා චෞද්රි මහත්මිය ඇයට ප‍්‍රතිකාර ලබාදීමට වහා ම වෛද්‍යවරුන් කැඳවීමට නියම කළා ය. මේ අතරතුර මන්ත‍්‍රීවරිය වෙත ගිය චෞද්රි මහත්මිය ‘ඔබ අද මෙහි ආවේ උදේ ආහාර ගැනීමෙන් පසුවදැය’ ඇගෙන් ප‍්‍රශ්න කළා ය. මොහොතකින්
සබාවට පැමිණි වෛද්‍යවරු දෙදෙනෙක් මන්ත‍්‍රීවරියට ප‍්‍රථමාධාර ලබාදුන් අතර, ඊට ටික වේලාවකට පසු ඇය රෝහලකට ගෙන යනු ලැබුවා ය.

බිම වැටී සිටි මන්ත‍්‍රීවරිය සහෝදර මන්ත‍්‍රීවරුන්ගේ ආධාරයෙන් නැගිටගත් අතර ඊට පසුව රෝද පුටුවක වාඩි කරවා ඇය ගිලන් රථයට ගෙන යනු ලැබුවා ය.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහිදී යෝජනාවලියක් ගෙන ඒමේ වැඩපිළිවෙලට ඉන්දියාවේ දේශපාලන පක්ෂ රැසක විරෝධය පළවී තිබේ. ඉන්දීය රජය විසින් ඊයේ පස්වරුවේ කැඳවන ලද සර්ව පාක්ෂික සාකච්ඡාවකදී මෙම විරෝධය පළකර ඇති බව විදෙස් පුවත් සේවා කියාසිටී.

ශ්‍රී ලංකාවට එරෙහි විය යුතු බව එහිදී ප්‍රකාශ කර ඇත්තේ එම් කරුණානිධිගේ ඩී.එම්.කේ. පක්ෂය හා ජයලලිතා ජයරාම්ගේ ඒ.අයි.ඒ.ඩී.එම්. කේ පක්ෂය පමණි. එහෙත් අනෙක් සියලු පක්ෂ එම යෝජනාවට තරයේ විරෝධය පළකර තිබේ.

සාකච්ඡාවට එක්වු ඉන්දීය සමාජවාදී පක්ෂය අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ අතිශය මිත්‍රශිලී රාජ්‍යයක් බවයි. එබැවින් කිසිදු අයුරකින් ඉන්දීය පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහි නොවිය යුතු බව ද සමාජවාදී පක්ෂය අවධාරණය කර ඇති අතර භාරතීය ජනතා පක්ෂය ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ගෙන ඒමට පිළිබඳ විරෝධය පළ කර ඇත.

Posted in:

0 comments for "ශ‍්‍රී ලංකාවට බැණ වැදුණු DMK මන්ත‍්‍රීවරිය සිහිසුන්වී ඇද වැටේ"

Leave a reply