ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දැයට කිරුළ මුදල් වංචාවේ මහ සැකකාරිය 15දා තෙක් රිමාන්ඩ්


අම්පාරේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශන භූමිය සැලසුම් කිරීමේ දී සිදුවී ඇතැයි කියන මහා පරිමාණයේ මූල්‍ය වංචාවට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකාරිය මැයි මස 15 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා 09 නියෝග කළේ ය.

මේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එච්.එම්. ගුණසේකර මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

වංචාවට අදාළ මුදල රුපියල් තුන්කෝටි අනූහතර ලක්ෂ අසූ දෙදහස් හතළිහකි.

ඉහත කී මුදල සාපරාධී විශ්වාසය කඩකිරීම හා වංචාකර පරිහරණය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිසිය මගින් ය අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයට
ඉදිරිපත් කළ විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සහ දැයට කිරුළ ප්‍රධාන විධායක නිලධාරිනී කාන්ති ගුණවර්ධන  ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ වැසිකිළි හාරසිය අනූවක් (490) තැනීම, කියවීම් ශාලාවක් හා ආපනශාලාවක් තැනීම, මල් සැරසිලි කිරීමට අදාළව මේ වංචාව සිදුවී ඇතැයි පරීක්ෂණ වලින් හෙළිවී තිබේ.

මෙහි ප්‍රධාන ව්‍යාපෘතිය වන ප්‍රදර්ශන භූමියේ තාවකාලික වැසිකිළි තැනීම ගම්පහ පිළිකුත්තුවේ තම ඥාතියකුට ටෙන්ඩර් මණ්ඩලයෙන් තොරව හිතුමතයට දී ඇති බවත්, එම කොන්ත්‍රාත් සමාගමේ දෙවන අයිතිකරු වශයෙන් සැකකාරියගේ පුතාද ක්‍රියා කර ඇතැයිද පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

අදාළ කොන්ත්‍රාත් සමාගම ආරම්භ කර ඇත්තේ වැසිකිළි තැනීමේ ගිවිසුම අත්සන් කිරීමට මාස ගණනකට පෙර බවත්, මුල් ගෙවීම සිදු කර ඇත්තේ ගිවිසුමට දින හයකට පෙර දී බවත් එම මුදල් සැකකාරියගේ පුංචි අම්මාගේ ගිණුමට බැර කර ඇති බවත් එම මුදල් ලබා ගැනීමට සැකකාරියගේ පුතාද ගොස් ඇති බවත් තව දුරටත් හෙළිවෙයි.

Posted in:

0 comments for "දැයට කිරුළ මුදල් වංචාවේ මහ සැකකාරිය 15දා තෙක් රිමාන්ඩ්"

Leave a reply