ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දරුවන් සිවුදෙනා ඉදිරියේදීම බිරිය ගිනි තබා ඝාතනය කළ පියෙක්

තම දරුවන් සිවුදෙනා ඉදිරියේදීම බිරිය ගිනි තබා ඝාතනය කෙළේ යැයි සැක කෙරෙන සැමියකු රක්වාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

රක්වාන රදමුවාවන හොරමුල වතුයායේ පදිංචි 32 හැවිරිදි වතු කම්කරු කාන්තාවක මෙලෙස ඝාතනය කර ඇත.

ජෙයරාම් පුෂ්පරාණි වන ඇයගේ මරණයට සැකපිට ඇයගේ සැමියා සිද්ධිය වූ පෙරේදා (19දා) රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන තිබේ.
මවගේ සිරුරට භූමිතෙල් වත්කර පියා ගිනි තැබූ බව වැඩිමහල් පුතා
පොලිසියට ප්‍රකාශයක් කර ඇත.

බිරියට ගිනි තැබීමෙන් පසු සැකකාර පියා දරුවන් සිවුදෙනා ජනේලයෙන් එළියට විසිකර ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.මරණයට පත් කාන්තාව අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බවට ඇතිවූ සැකයක් මත මේ ගිනි තැබීම සිදුකර ඇති බවට පරීක්‍ෂණ පවත්වන පොලිසියට තොරතුරු ලැබී තිබේ.

පෙරේදා රාත්‍රි 9ට පමණ මේ සිද්ධිය වන අවස්ථාවේ ඔවුන්ගේ පිරිමි දරුවන් තිදෙනා සහ ගැහැනු දරුවකුද නිවෙසේ සිටි බව පොලිසිය පැවැසීය.ඔවුන් අවුරුදු 12, 7, 6 සහ 2 හැවිරිදි වියේ පසුවන බවද පොලිසිය සඳහන් කළේය. ගිනි දැල්වලින් වෙළී සිටි ඇය සැමියාගේ පාදවලට පැනීමෙන් ඔහුගේ දෙපා පිලිස්සී ඇති බව අනාවරණය වී ඇතැයි පරීක්‍ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

මෙහිදී පාදවල පිලිස්සුම් තුවාල ලබා ඇති සැකකාර සැමියා පොලිස් රැකවරණ මත කහවත්ත රෝහලට ඇතුළත් කොට තිබේ. මව අහිමි වීමෙන් තනිවූ දරු සිවුදෙනා දැනට පොලිසියේ රැකවරණ මත පසුවන බවද පොලිසිය සඳහන් කෙළේය.

සැකකරු පිළිබඳ ඊයේ සවස පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත.එම නියෝගයත් සමඟ දැනට පොලිස් රැකවරණ මත කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකරු බන්ධනාගාර නිලධාරීන් භාරයට පත්කිරීමට කටයුතු යොදා ඇති බව පරීක්‍ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (20දා) කහවත්ත මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.රත්නපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් පෙරේරා මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතාගේ අධීක්‍ෂණය යටතේ රක්වාන පොලිස් ස්ථානාධිපති ආර්. ඒ. එම්. ආරියරත්න, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කපිල ප්‍රසාද් මස්ඉඹුල යන මහත්වරු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති. ගිනිගත් ස්ථානය අසල තිබූ සියලුම රෙදිපිළිද පිලිස්සී ගොස් ඇති බවද පොලිසිය සඳහන් කෙළේය.

Posted in:

0 comments for "දරුවන් සිවුදෙනා ඉදිරියේදීම බිරිය ගිනි තබා ඝාතනය කළ පියෙක්"

Leave a reply