ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ගුවන් සේවිකාවන්ට බලහත්කාරයෙන් විවිධ හිරිහැර කළ කුවේට් ජාතිකයා පිටුවහල්


බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් මගීන්ට, ගුවන් සේවිකාවන්ට පමණක් නොව ගුවන් නියමුවන්ට පවා හිරිහැර කරමින් කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණි කුවේට් ජාතිකයකු මෙරටට භාර නොගෙන ආපසු හරවා යැවුණු අතර කටාර් ගුවන් සේවයේ යළි කිසි දිනෙක ගමන් කළ නොහැකි පරිදි ඔහුගේ නම එම සේවාවෙන් අසාදු ලේඛන ගත (Black list) කර තිබේ. මේ සිද්ධිය වී ඇත්තේ පසුගිය සිකුරාදා (03) පස්වරු 5.00ට මෙරටට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානය තුළය.

මේ කුවේට් ජාතිකයා පැමිණ ඇත්තේ ඔහුගේ ශ්‍රී ලාංකික බිරිඳ සහ දියණිය ද සමඟය.

පැයකට අධික කාලයක් මේ පුද්ගලයා යානය තුළ ඉතාමත් අශෝභන ආකාරයෙන් හැසිරී තිබේ. මගීන් අතර සිටි කාන්තාවන්ට සහ ගුවන් සේවිකාවන්ට බලහත්කාරයෙන් විවිධ හිරිහැරකාරී දෑ සිදු කිරීමට උත්සාහ කර තිබේ. මගීන්ට ආහාර පාන ආදිය පවා පිළිගැන්වීමට සිදු වී ඇත්තේ
යානය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුවය.

යානය තුළ සිටි පිරිස මොහුව පාලනය කිරීමට උත්සාහ කළද නොහැකිවී ඇත.

යානය කටුනායකට පැමිණීමෙන් අනතුරුවද මොහුගේ හැසිරීම බරපතළ හිරිහැරයක් වූ නිසා ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ දස දෙනෙකු පොලිසියේ පහළොවක් පමණ පැමිණ මේ පුද්ගලයා මර්දනය කර තිබේ.

ආගමන විගමන පාලක ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා ඇතුළු නිලධාරීන්ට මේ පුද්ගලයා පිළිබඳ ඒ අවස්ථාවේ ගුවන් තොටුපළ රාජකාරී කළ ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක මහතා වෙත දැනුම් දී තිබේ.

ආගමන විගමන පනත යටතේ ක්‍රියා කරමින් මේ කුවේට් ජාතිකයාට මෙරටට ඇතුල්වීමට ඉඩ නොදී ආපසු යැවීමට ආගමන විගමන පාලක ජෙනරාල්වරයා උපදෙස් දී තිබිණ.

ඒ අනුව ඔහු ආපසු යැවුණු අතර ඔහුගේබිරිය සහ දියණිය සිය කැමැත්තෙන්ම ඔහු සමඟ පිටව ගොස් තිබේ.

මේ පුද්ගලයා යළි කටාර් ගුවන් සේවයෙන් ආපසු ගෙනයාමට එම සේවා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඔහුගේ නම එම සේවාවේ Black list කර තිබේ.

Posted in:

0 comments for " ගුවන් සේවිකාවන්ට බලහත්කාරයෙන් විවිධ හිරිහැර කළ කුවේට් ජාතිකයා පිටුවහල්"

Leave a reply