ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඇය කෙරෙහි ඇතිවුණේ තරුවකට රසිකයන් තුළ ඇතිවන ආදරයක් ---- ජැක්සන්ගේ දෙටුපුත් අඛිල ධනුද්ධර කියන කතාවක්

අපේ සිනමා නළු පරපුරට අලුතින්ම එකතු වන අඛිල ධනුද්ධර රසික ජනතාවට නවක චරිතයක් නෙමෙයි. ඔහු මෙරට සිටින ජනප්‍රිය කලා පවුලක සාමාජිකයෙක්. අඛිලගේ පියා ජැක්සන් ඇන්තනී. පියා මව වගේම ඔහුගේ සහෝදරයා සහ සහෝදරියත් කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය චරිත බව අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් අඛිල ජනප්‍රියත්වය කරා යන ගමන පවු‍ලේ ජනප්‍රියත්වයේ හෙවණැල්ල මතින් යන ගමනක් නොවන බව ඔහුගේ රංගනය දුටු බොහෝ අය පවසනවා. අඛිල “රිද්ම” කතාබහකට එක්වූ  ප්‍රථම අවස්ථාවයි මේ. ඔහු අප සමග එකතු වුණේ සුහදශීලී ආකාරයෙන්.‍ෙ

අඛිල නළුවකු වුණේ ජැක්සන් ඇන්තනීගේ පුතා නිසාද?

(හිනැහී) මම ජැක්සන් ඇන්තනීගේ පුතා කියල මිනිස්සු දැනගත්තේ
මම නළුවකු වුණාට පසුව කියා කිව්වොත් වැරදි නැහැ.

ඒ වුණත් ජැක්සන් ඇන්තනීගේ පවුලම රටම හඳුනනවා...?

අප්පච්චිවයි අම්මවයි රටම හඳුනනවා. මල්ලිත් අබා චිත්‍රපටය තුළින් ජනප්‍රිය චරිතයක් වුණේ පුංචි කාලෙදි. අක්කා වුණත් හපන් පැදුරෙන් මිනිස්සු අතරට ගියා. අපි කට්ටිය පාරෙ යන විට මිනිස්සු උනන්දුවෙන් බැලුවේ ඒ අය දිහා. මමයි මල්ලියි පාරෙ යන වෙලාවක නාඳුනන කෙනෙක් අපි දිහා බලල හිනාවුණත් මේ හිනාවෙන්නේ මල්ලිට කියල මම දන්නවා. මට හැමදාම හිතුණේ මම සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියලා. පස්සෙ කලෙක රොමේෂ්ගේ ‘දිගු දෑස’ සින්දුවේ රූප රචනය තුළට මම ආවට පස්සේ මල්ලියි මමයි පාරෙ යන විට කවුරු හරි මා දිහා උනන්දුවෙන් බැලුවත් මම ඒක ගණන් ගන්නේ නැහැ. මම සාමාන්‍ය කෙනෙක් කියන අදහස වැදිලා තිබුණු හින්දයි මම එහෙම කළේ. ඒත් මම එහෙම කළේ තියෙන ආඩම්බරකමට කියලා චෝදනා කළ අයත් හිටියා.

ඔය ඔක්කෝම හේතු හින්දා වෙන්න ඇති නළුවෙක් වෙලා ජනප්‍රිය වෙන්න ඕන කියන අදහස අඛිලගෙ හිතට ආවේ........

ඇත්තෙන්ම නැහැ. නළුවකු වනවා කියන අදහස කවදාවත් මට තිබුණෙ නැහැ. පුංචි කාලෙ ඉඳන් මගේ හිතේ තිබුණේ වෙන හීනයක්.

මොකක්ද ඒ හීනය....?

අප්පච්චි නිතරම කියූ දෙයක් තමයි පුංචි කා‍ලේ ඉඳන් අප්පච්චිගෙ හිතේ තිබුණු හීනය වෙලා තියෙන්නේ කවදාහරි දවසක මේ රටේ සුවිශේෂ කෙනෙක්... එහෙම නැතිනම් ‘‍පොරක්’ වෙනවා කියන හීනයලු. මල්ලිටයි අක්කටයි අවශ්‍ය වුණේ අප්පච්චිගේ අඩි පාරේ යන්න. ඒත් මට ඕනවුණේ ඒක නමෛයි. කවදාහරි ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ඉහළට යනවා. ඒ ගිහින් අප්පච්චිලාට කලා නිර්මාණ කරන්න නිෂ්පාදකයෙක් වෙනවා කියලා තමයි මම හිතුවේ. ඒ ඔස්සේ බොහෝ දේවල් කළා.

මොනවද ඒ....?

මම පුංචි කා‍ලේ මේ රටේ ‘ටයිටැනික්’ උන්මාදය තදින්ම තිබුණා. ඒ කා‍ලේ මම ඇවිදල ඇවිදල ශත 50 ගාණේ ‘ටයිටැනික්’ කාඩ් ගන්න පුළුවන් තැන්වලින් ගන්නවා. ඊට පස්සේ ස්කූල් වෑන් එකේ අක්කලට රුපියලට ඒ කාඩ් විකුණනවා. තව ටිකක් ලොකු වුණාම ‘සුරතල් මාළු’ ඇතිකරන්න පටන් ගත්තා. ඒකත් හිතුවට වඩා පුළුල් ව්‍යාපාරයක් වුණා. වටාපිටාවේ අය සුරතල් මසුන් මිලට ගන්න මාව හොයාගෙන ආවා. ඔය අතර අපි ගෙවල් මාරු කළා. එතකොට සුරතල් මසුන් ව්‍යාපාරය නතර වුණා. ඊට පස්සේ එළවළු වගා කළා. හැබැයි ඒ ව්‍යාපාරික මට්ටමට නම් නමෛයි.

ව්‍යාපාරික හීනය බිඳවැටිල නළු හීනය ඇතිවුණේ කොහොමද?

එවැනි දෙයක් සිදුවුණේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඉදිරියේදීත් මම රඟපානවා. ඒත්  තවම ව්‍යාපාරික හීනය තියෙනවා. මුලින්ම මම උසස් පෙළට තෝරා ගත්තේ ගණිත අංශය. ඒත් අවුරුද්දක් ඉඳල ආයෙම වාණිජ විෂය ධාරාවට ආවා.  දැනට මම ව්‍යාපාර කළමනාකරණය ගැන වැඩිදුර හදාරනවා. රඟපෑම නිසා පසුගිය කා‍ලේ තාවකාලිකව එය නතර කරලා තිබුණා. ඒත් ජූලි මාසේ ඉඳන් යළි ඒ අධ්‍යාපන පාඨමාලා ආරම්භ කරනවා.

අඛිල තරුවක් වුණේ අඬලා?

(හිනැහි) ඔව්. ‘දිගු දෑස’ රූප රචනය ගොඩක් අයට මතක හිටින එකක් වුණේ මම අඬපු විදියට. ඒක කරපු වයිඩ් ඇංගල් එකේ ප්‍රසංග අයියා මට කිව්වෙ ‘මල්ලි මෙතනදී  නිකං අඬන්න එපා. හොටු පෙරාගෙන ඇත්තටම අඬපං කියලා. මමත් ඒ දේ කළා. ගෑනු ළමයි අඬන ජවනිකා අපි දැක්කට පිරිමියෙක් ඒ විදියට අඬන අවස්ථා අඩුයි. ඒ හින්දම මිනිසුන්ට මේක මතක හිටියා. ඊට පස්සේ බිහිවූ බොහෝ රූප රචනාවලට අඬන ජවනිකා පවා එක්වුණා.

අඛිල සාමාන්‍ය ජීවිතයේදී ඒ විදියට අඬනවද?

පුංචි කා‍ලේ නම් මම නිතරම ‍පොඩි දේටත් අඬනවා. දැන් නම් මළගෙදරකදීවත් අඬන්නේ නැහැ.

දඟ වැඩ කරලා අම්මගෙනුයි අප්පච්චිගෙනුයි දඬුවම් ලබල තියෙනවද?

අප්පච්චි නම් බණිනවා විතරයි. කවදාවත් ගහල නැහැ. අම්මගෙන් නම් ගුටි කාලා තියෙනවා. ඒ දවස්වල මල්ලිගෙයි මගෙයි ලොකුම ක්‍රීඩාව රෙස්ලින් ක්‍රීඩාව. විහිළුවට පටන් ගත්තට ඇත්තටම ගහගන්නවා. ඒ වෙලාවට අම්මගෙන් ගුටි කන්න වෙනවා. ඒ දවස්වල අම්මා වේවැල විදියට පාවිච්චි කළේ හැඳි මිට. හැබැයි ඉතින් ඒ පුංචි කාලෙ වෙච්ච දේවල්.

අඛිලගෙ පෙම්වතිය ගැනත් කතා කරමු?

ඇය නිලුක්ෂි අමන්දා. මෝස්තර නිරූපණ ශිල්පයේ යෙදෙනවා. මගේ ජීවිතය සහමුලින්ම වෙනස් වුණේ ඇය හමු වූ පසුවයි.

අඛිල නිලුක්ෂි ප්‍රේම කතාවත් හරි සුන්දර එකක්ලු නේද?

(හිනා) මම ඉස්සරවෙලාම ඇයව දැක්කේ ටී.වී. එකේ. ඒ වෙලාවෙම පැහැදීමක් බැඳීමක් ඇතිවුණා. ඒත් ඒක තරුවක් ගැන රසිකයෙකුට ඇතිවන ආදරයක්. පස්සේ කාලෙක මගෙ හිතවතකු වන ගයාන් ශ්‍රිගේ නර්තන වැඩසටහනකදී හමුවුණා. මුලින්ම දැන හඳුනාගෙන ඇසුරු කළා. කාලයක් යද්දී මගෙ ප්‍රේමාරාධනාව ප්‍රතික්ෂේප කරන්න බැරි තැනට ආවම මම ඇයට ආදරේ ප්‍රකාශ කළා. ඒ විදියට තමයි ඒ ආදරය ජය ගත්තේ.





Posted in:

0 comments for "ඇය කෙරෙහි ඇතිවුණේ තරුවකට රසිකයන් තුළ ඇතිවන ආදරයක් ---- ජැක්සන්ගේ දෙටුපුත් අඛිල ධනුද්ධර කියන කතාවක්"

Leave a reply