ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පන්ති කාමරයේ තීන්ත ගාන්න ඉල්ලූ රු. 800 හොයන්න අල්ලපු වත්තේ පොල් ඇහිලූ 13 දැරිය අත්අඩංගුවට


පාසල් ගොඩනැගිල්ලේ තීන්ත ගෑමට රුපියල් 800ක් සොයා ගන්නට තරම් වත්කමක් නොතිබූ දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මුදාහැරුණු පුවතක්, හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා විය.
 පාසල් දැරිය එසේ ශරීර ඇප මත මුදාහැරියේ පාසලේ තීන්ත ගෑමට මුදල් සොයා ගන්නට පොල් ගෙඩි අටක් සොරකම් කිරීම හේතුවෙනි. මේ දැරිය නිවෙස අසල අරමණාගොල්ල පදිංචි කේ.පී. චන්ද්‍රසේන නමැත්තකුට අයත් වත්තෙන් පොල් ගෙඩි අටක් සොරා ගත්තේ යැයි කළ පැමිණිල්ලක් මත හොරණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉහත සඳහන් ශරීර ඇපය මත දැරිය මුදාහරින ලෙස හොරණ වැඩ බලන මහෙස්ත්‍රාත් මානෙල් ගුණතිලක
මහත්මිය නියෝග කළාය.
 බාල වයස්කාර පාසල් දැරියක් වූ ඇය අධිකරණයේ මේ නියමයට පාත්‍රා වූයේ සිය මව සමඟ උදේ ආහාරයවත් ලබා නොගෙන පැමිණ සිටියදීය.
මව ගර්භාෂයේ ගෙඩියක් හේතුවෙන් අසනීපව අසරණ තත්ත්වයට පත්ව ඇති කාන්තාවක් බව අධිකරණයේදී අනාවරණය විය.
 දැරිය වෙනුවෙන් නීතිඥවරු දෙදෙනෙක් නොමිලයේ පෙනී සිටියහ. ඔවුන්ගෙන් එක් නීතිඥයකු වූ රොෂාන් දෙහිවල මහතා අධිකරණයට කියා සිටියේ මෙය සොරකම් කිරීමේ චේතනාව මත කරන ලද්දක් නොව නැති බැරිකම නිසා සිදු කළ දෙයක් බවයි.
 පාසල් සිසුවිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න හා රොෂාන් දෙහිවල යන මහත්වරුන් නොමිලේ නීතිඥ සේවාව ලබාදීම ද විශේෂ සිදුවීමක්‌ විය. සිසුවිය දෙමාපියන්ට භාර දෙන ලෙස නියෝග කළ විනිසුරුවරිය ඇය පිළිබඳව පරිවාස වාර්තාවක්‌ කැඳවන ලෙස ද වැඩිදුරටත් නියෝග කළාය.

Posted in: ,

1 comment:

  1. mewa balanakota papuwata pihiyakin aninawa wage therenne

    ReplyDelete