මම කාලකණ්ණි ගෑනියෙක්
.jpg)
සිනිඳු මල් කැකුළක පෙති කඩා බිඳ දැමූ කළ අපට හෙට දින හමුවන්නේ විසිර ගිය මල්පෙති පමණි. එබැවින් ඒ මල්පෙති කඩා බිඳ හෙලීමට ඉඩදිය නොහැක. සුපර්ණිකා ද එලෙසින් සිනිඳු පියකරු මල් කැකුලක් මෙන් වූවාය.
ජීවිතයේ බොහෝ පාඩම් අපට කියා දෙන්නේ ඒවා ආපසු හරවා ගත නොහැකි තරම් දුර බැහැරකට ඇද ගිය පසුවය. සුපර්ණිකා නිහඬව පසක් කර දෙන්නේ එවැනි කතාන්දරයකි. තම සැමියා මරා දැමීමේ වරදට විසි වසරක සිර දඬුවමකට යටත්ව සිපිරි ගෙට පැමිණි සුපූර්ණිකා තවමත් භද්‍ර යෞවනයේ පසුවන රූමත් තරුණියකි. කෙනකුගේ සිත ඇද බැඳ ගන්නා රූ සොභාවක් ඇය සතුය. එහෙත් ඇය ඉකිබිදින්නීය. ඉකිබිඳුමත් සමඟ ඇගේ නෙතට කඳුළු බිඳු මෝදුවෙයි. එය දොකොපුල දිගේ රූරා වැටේ. දෑසේ බොඳව දිළෙන කඳුළු බිඳු නිසා ඇගේ මුහුණ අමුතුය.
අනුරාධපුරයේ ග්‍රාමීය ප්‍රදේශයක පවුලේ දෙවැනි දරුවා ලෙස සුපර්ණිකා උපත ලැබුවාය. පවුලේ ගැහැනු දරුවා ලෙස ඇය දෙමාපියන්ගේ නිබඳ ආදරයට පාත්‍ර වූවාය. ඇය
ලොකු මහත් වෙත්ම නිවෙසේ අගහිඟකම් ඇති වීමෙන් ඇගේ මව විදේශ ගතවීමෙන් පසු පියා විසින් සුපර්ණිකාගේත් ඇගේ අයියාගේත් සියලු අවශ්‍යතා සොයා බැලුවේය. කාලය ගෙවී යත්ම මව විසින් එවන ලද මුදල් පියා විසින් සූදුවටත්, මත්පැන් බෝතලයටත් වියදම් කළේය. සුපර්ණිකා ටිකෙන් ටික යොවුන් වියට එළැඹුණාය. ඇගේ පෙනුම ද එන්න එන්නම ප්‍රසන්න වූවාය. සැන්දෑවේ බීමතින් නිවෙසට එන පියාගෙන් බේරීමට සුපර්ණිකා දැඩි ප්‍රයත්නයක් දැරුවාය. එහෙත් අවාසනාවන්ත එක් රාත්‍රියක දී බීමත් පියා විසින් මේ සුන්දර මල් කැකුළ තලාපොඩිකර විනාශ කර දැම්මේ නැවත ජීවිතේ කිසි දිනෙක සැකසිය නොහැකි ආකාරයටය. දිගින් දිගටම මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දීමට සුපර්ණිකාට සිදුවූවාය.
ඇයට මෙම අවනඩුව කීමට කෙනකු නොවීය. අවසානයේ ඇය දැඩි තීරණයකට එළැඹුණාය. ඇය බසයක නැගී කොළඹට ඒමට තීරණය කළාය. කොළඹට පැමිණි සුපර්ණිකාට සිදුවන්නේ කබලෙන් ලිපට වැටුණා වැනි තවත් අසුන්දර අත්දැකීම් සමුදායකට මුහුණ දීමටය. ඉකිබිඳුම් අතරින් කටහඬ අවදි කළ ඇය මෙසේ කීවාය.
“මගේ උපන්ගම අනුරාධපුරේ කැබිතිගොල්ලෑව. අපේ පවුල සාමකාමී පවුලක්. අම්මා, තාත්තා, අයියා අපි සතුටින් ජීවත් වුණා. නමුත් මම පාසල් යන කාලයේ අපේ තාත්තගේ රස්සාව නැති වුණා. අපේ ගෙදර ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩි වුණා. ඔය අතරේ අපේ මාමා කෙනෙක් අම්මට සෞදි අරාබියේ රස්සාවක් හොයන්න කටයුතු කළා. තාත්තත් ඒකට කැමති වුණා. අම්මට ඕනෑ වුණේ මටයි අයියාටයි හොඳට උගන්වන්න, හොඳ ගෙයක් හදන්න, ඔය ඔක්කොම කරන්න අම්ම සවුදි ගියා. තාත්තට කවදාවත් අම්මගේ අඩුව මකන්න බැරි වුණා. මගේ පාසල් ගමන ද අතරමගදී කඩා කප්පල් වුණා.
අම්මා එවන සල්ලි තාත්තා මුලදි සැලසුම් සහගතව වියදම් කළා. නමුත් තාත්තා පස්සෙ පස්සේ යාළුවොත් එක්ක එකතු වෙලා නැති නාස්ති කළා. තාත්තා බීමට ඇබ්බැහි වුණා. සුදුවටත් පුරුදු වුණා. සමහර දාට තාත්තා ගෙදර ආවේ සුනිල් මාමගේ කරපිටින්. ඒ තරමටම තාත්තා මත්පැන්වලට හුරුවුණා. අයියත් කැළෑ පැන්නා. මට කවුරුත් නැති වුණා. ඔය අතර තාත්තා හොඳට වෙරිවෙලා ඉන්න වෙලාවට අම්මගේ නම කියලා මට කතා කරනවා.
අම්මා රට ගියා කියලා තාත්තට මතක නැහැ. හොඳටම වෙරිවෙලා හිටපු දවසක රෑ තාත්තා මගේ ළඟට ආවා. මම තාත්තා ළඟ වැඳ වැටුණත් තාත්තා ඒවා ගණනකට ගත්තේ නැහැ. අනේ දෙවියනේ මම මේවා කොහොම කියන්නද...එදා රෑ මගේ ජීවිතේ විනාශ වුණා. ඊට පස්සේ මෙම අමිහිරි අත්දැකීමට මට දිනපතා මුහුණ දෙන්න සිදුවුණා. මම කුමක් කළ යුතුද මෙය කා සමඟ කිව යුතුද යන්නවත් මම දැනගෙන හිටියේ නැහැ. මම එදා රාත්‍රියේ තීරණයක් ගත්තා. ඇඳුම් දෙක තුනක් ඔතාගෙන ඉටි බෑග් එකකට දාගත්තා. පාන්දර හතර ට විතර ගෙදරින් පැනලා ආවා. ඇවිත් බස් එකේ නැග්ගා.
ඔය විදිහට මම කොළඹ ආවා. කොළඹ බස් ස්ටෑන්ඩ් එකේදී මට ලස්සන නෝනා කෙනෙක් මුණ ගැහුණා. තොල් සායම් ගාන අව් කණ්නාඩි දාන ඒ නෝන මාව එයාගේ ගෙදර එක්ක ගියා. මට හොඳ ජොබ් එකක් හොයලා දෙන්නම් කිව්වා. මම ඒ ගෙදර ගිහින් දින දෙක තුනක් හොඳට හිටියා. ඊට පස්සේ ඒ නෝනා එයාගේ යාළුවකුගේ ගෙදර වැඩට මාව යැව්වා. ඒ නෝනත් හරිම ලස්සනයි. එයාගේ නම පි‍්‍රන්සි. එයා වැඩිපුර කතා කළේ ඉංගී‍්‍රසි. මාව දැක්ක ගමන් ඒ නෝනා මගේ මූණ දිහා බලාගෙන හිටියා.
ටිකකට පස්සේ “එක්සලන්ට්...” කිව්වා. ඊට පස්සේ මාව ඒ ගෙදර නතර කර ගත්තා. එදා ඉඳන් හැම රෑකම රුපියල් 15000 කට 10000කට පි‍්‍රන්සි මැඩම් මාව එක එක අයට විකිණුවා. මම ආපහු වැටුණේ අපායකට කියලා මට තේරෙණකොට මම හුඟක් පහුවෙලා වැඩියි. මම අවුරුද්දක් විතර ඒ ගෙදර හිටියා. මට සමහර මාස වල රුපියල් 60000 ක් විතර පි‍්‍රන්සි මැඩම් දුන්නා. එයා සල්ලිවලට ලෝභ නැහැ. ඒත් මේ කරුම ජීවිතයෙන් මිදෙන්න විදිහක් තිබුණේ නැහැ. එක දවසක් මහත්තයෙක් මාව ඒ ගෙදරින් පිට අරන් ගියා. එයා මාව අරන් ගියේ කොහෙද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඉන් පස්සේ කවදාවත් මම පි‍්‍රන්සි මැඩම් ළඟට ගියේ නැහැ. ඒ මහත්තයා මාව කසාද බඳින්න කැමති වුණා. මම ඒ කරුම ජීවිතයට සමු දුන්නා. අපි විවාහ වුණා. ජීවිතය සතුටින් ගෙවී ගියා. එහෙත් එක දවසක් මගේ මහත්තයගේ ගෙදර අය මම කලින් කළ රැකියාව දැනගෙන අපිව ගෙදරින් එළියට දැම්මා. අපිට කරන්න දෙයක්, ඉන්න හිටින්න තැනක් නැතිවුණා. පස්සේ අපි ගෙයක් කුලියට අරන් ජීවත් වුණා.”
“ගෙවල් කුලී ගෙවලා වාහනේට තෙල් ගහලා කාලා බීලා ඉන්න මහත්තයගේ පඩිය මදිවුණා. අපි අතර ප්‍රශ්න එන්න පටන් ගත්තා. සමහරදාට එයා මට, හොඳටම බනිනවා. මේ සේරටම මුල මගේ කරුමෙ කියලා එයා බනිනවා. ඒ වෙලාවට හොඳටම අඬනවා හැරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. එක දවසක් මහත්තයා ගෙදර ආවේ නැහැ. එයාගේ හොඳම යාළුවා අපේ ගෙදර ආවා. මම හොඳටම බැන්නම එයා කිව්වෙ මගේ මහත්තයා එව්වේ එයාව කියලා. මගේ මහත්තයා එයාට ණය බවත් ඒකට හිලව්වට ගෙදර එව්ව බවත්, ඒ මිනිහා මට කිව්වා. මම ඒ මිනිහා එක්ක රණ්ඩු වුණා. පහුවදා උදේන්ම මහත්තයා ගෙදර ආවා. එයාගේ යාළුවගේ කතාව කිව්වම මහත්තයා මට හොඳටම ගැහුවා.
අපි දෙන්නා අතර තිබුණ ආදරය නැති වෙලා ගිහින් වගේ මට දැනුණා. පහුවදා මහත්තයා ගෙදර ආවේ නැහැ. වෙන යාළුවෙක් එවලා තිබුණා. මට පුදුම කේන්තියක් ආවේ. පහුවදා උදේ මහත්තයා ගෙදර ආවම මා එක්ක රණ්ඩුවට පැටලුණා. මම කුස්සියේ උදේ කෑම හදමින් හිටියේ. ආපු කේන්තියට අතේ තිබුණ පිහියෙන් මම මහත්තයට ඇන්නා. බුදු අම්මෝ කියාගෙන මහත්තයා බිම වැටුණා. දඟල දඟලා ඉඳලා මහත්තයා මළා. මම කවදාවත් එයා මරන්න හිතා හිටියේ නැහැ. නමුත් මගේ අතීතය හාරවුස්සමින් මට කරපු අපහාස මට අහගෙන ඉන්න බැරි වුණා. මම පොලිසියට බාර වුණා. එතැනින් උසාවි දාලා එදා ඉඳන් මම සිරගෙදරට කොටු වුණා.”
“මට ජීවිතේ එක දුකක් තියෙනවා. එක දවසක් හරි ආදරෙන් මාව බලාගත්තු මගේ මහත්තයව මගේ අතින් මැරිච්ච එක, මම මහ කාලකණ්නි ගෑනියෙක්.”
වැරදි බව දැන දැන වැරදි කිරීම වරදක්. අවශ්‍ය වන්නේ වැරදි නිවැරදි කොට නිවැරදි මාවතක ගමන් කිරීම පමණකි. සුපර්ණිකා ද ඉදිරියේ දිනෙක නිදහස ලබා සිපිරි ගෙයින් නික්ම යනු ඇත. ඉන්පසු ඇය නිවැරදි මාර්ගයට පිවිසෙනු ඇතැයි මම විශ්වාස කරමි.
මෙහි නම් ගම් මන:කල්පිතය
නිරූෂි විමලවීර
0 comments for "මම කාලකණ්ණි ගෑනියෙක්"
Leave a reply