78 ජේ. ආර්. හදපු පාරේ අවුරුදු 35ක් ඇවිත් අපි ඉන්න තැන.
අධ්‍යාපනයට, අධිකරණයට, මාධ්‍ය නිදහසට ප‍්‍රශ්න තිබෙනවා. ඒකාධිපති පවුල් පාලනයක් යටතේ මාධ්‍යයට කොහෙද නිදහසක්? මේ ලෝකයේ එහෙම රටක් තියෙනවද? රාජපක්‍ෂ පවුල ගැන ඇගයීම් හැර වෙන කිසිවක් ලියන්න අවස්ථාවක් නැහැ. විවේචනය කරන්න බැහැ. රාජපක්‍ෂ පවුලේ දේවල් හැර වෙන ඕනම දෙයක් ගැන කථා කරන්න ඕන තරම් නිදහසක් මාධ්‍යයට තියෙනවා. ඒ නිසා ජනමාධ්‍ය නිදහස ඕනෑ කියලා ජනතාව හිතනවා නම් පළමුව තේරුම ගත යුත්තේ, එය ඒකාධිපති පාලනයක් සමඟ පවතින්නේ නැහැ කියන කාරණය. දෙවනුව එම ඒකාධිපති පාලනය පෙරළා දමා නිදහස ලබාගැනීමට පෙරමුණ ගත යුතු බව කල්පනා කළ යුතුයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
ඔහු ඒ බව පැවසූවේ අද (19) නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවති සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ 15වන නියෝජිත මහ සම්මේලනය අමතමිණි.
එහිදී ලාල්කානත මහතා දැක්වූ තවත් අදහස් පහත පළවේ.
"මේ වනවිට සමාජයේ අර්බුද විශාල ප‍්‍රමාණයක් පැන නගිමින් තිබෙනවා. ඒවාට නිශ්චිත හේතු තිබෙනවා වගේම නිශ්චිත විසඳුම් සොයාගත යුතුව තිබෙනවා. සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ 15වන නියෝජිත සමුළුව පැවැත්වෙන මේ මොහොතේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න කාරණයක් ගැන මුලින්ම කියන්න ඕනෑ. සේවකයින් මෙන්ම ජනතාව හිතනවා,
ශී‍්‍ර ලංගමය කියන්නේ සේවා සපයන ආයතනයක් කියලා. ආණ්ඩුව කියනවා මෙය ලාභ ලබන ආයතනයක් බවට පත්කළ යුතුයි කියලා. සේවකයින් නිදහස් ප‍්‍රවාහන සේවය රැක ගනිමු කියලා අරගල කරනවා. නමුත් දැන් ලංකාවේ නිදහස් ප‍්‍රවාහන සේවයක් නැහැ. ශී‍්‍ර ලංගම අතිශයින් දේශපාලනීකරණය වෙලා. ආණ්ඩු මාරුවන විට ආණ්ඩුවේ දේපළක් ලෙස ලංගමය පාලනය කරනවා. ඒ අතරේ වෘත්තීය සමිතියක් පවත්වාගෙන යාම ඉතාම අසීරු තත්වයක්. ඒ අසීරු තත්වය යටතේ සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය මෙපමණ කලක් පවත්වාගෙන ආව එක ඉතාම වැදගත්.
නිදහස් ප‍්‍රවාහන සේවයක්, නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය සේවාවක් අද ලංකාව තුළ නැහැ. ආණ්ඩුව ගුරුවරුන් ටික දෙනෙකුට වැටුප් ගෙවන අතරේ අනෙක් සියලුම වියදම් දෙමව්පියන්ගෙන් පියවාගන්න කටයුතු කරනවා. චැනල් කරලා බෙහෙත් ටික ගන්නවානම් වෛද්‍ය පරීක්‍ෂණ ටික බාහිරින් කරගන්නවා නම් කොහෙද නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන්නේ. ඒ නිසා නිදහස් ප‍්‍රවාහන සේවයක්, නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍යයක් රැකගන්නවා කියන්නෙ වැරදි සටන් පාඨයක්. එය නිදහස් ප‍්‍රවාහන සේවයක්, නිදහස් සෞඛ්‍ය සේවයක්, නිදහස් අධ්‍යාපනයක් දිනා ගනිමු ලෙස වෙනස් කළ යුතුයි.
මේ තත්වයන්ට මහින්ද රාජපක්‍ෂ පමණක් නොවෙයි වගකිව යුත්තේ. රටේ පුරවැසියන්ද මේ කාරණය සම්බන්ධයෙන් ඈඳාගත යුතුයි. ඇමති මණ්ඩලය වැඩිකළා. ඔවුන් නඩත්තුවට යන වියදම වැඩිවුණා. නමුත් ජනතාවට වගේ වගක් නැහැ. පාසැල්වලින් මුදල් එකතුකරනවා. දෙමව්පියන් ඊට එරෙහිව කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගන්නේ නැහැ. එක අතකින් දෙමව්පියන් වැරදි නැහැ. විදුහල්පතිවරුන්ට මුදල් එකතු කරන්න බලය දීලා චක‍්‍රලේඛ නිකුත් කළා. අධ්‍යාපන ඇමති බන්දුල මීට වගකිව යුතුයි. අනෙක් පැත්තෙන් ආර්ථික ඝාතකයින් ගැන කියමින් විමල් පී.බී.ට බනිනවා. මහින්ද රාජපක්‍ෂ සංවර්ධන කමිටුවට ගියාම නිලධාරීන්ට බනිනවා. තමන්ට අල්ලාගන්න පුළුවන් ළඟම කෙනා අල්ලාගෙන දොස් කියනවා. ඒ නිසා මෙහි මූලයන් හොයාගන්න ජනතාව මේ දේවල් තේරුම්ගත යුතුයි.
1977ට ඉස්සර සංකල්පයක් තිබුණා, රජය තමයි රටේ සියල්ල මෙහෙයවූයේ කියලා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළේ රාජ්‍ය අංශයේ ආයතන මගින්. සියලු දේ කළේ රාජ්‍ය අංශය මූලික වෙලා. ලංගමයට ස්වර්ණමය අවධියක් තිබුණා නම් ඒ 77න් එහා අවධියයි. අධ්‍යාපනයත් එහෙමයි. කර්මාන්ත ශාලා රජයේ. වතු ක්ෂේත‍්‍රය රජයේ. කෘෂිකර්මාන්තය, බීජ අයිතිය රජය සතුයි. රජය මැදිහත් වූ ආර්ථිකයක් තිබුණා. නමුත් 77 ජේ.ආර්. බලයට ආවට පස්සෙ රජය සතු ආර්ථිකය ඉන් බැහැර වීමට කටයුතු කළා. සෞඛ්‍ය, අධ්‍යාපනය ප‍්‍රවාහනය යන සියල්ලෙන් රජය ඉවත් වුණා. ධනේශ්වර ක‍්‍රමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අධිකරණය, පොලීසිය, පමණක් පවත්වාගෙන යන තත්වයකට රජය පත්වුණා. නිෂ්පාදනයෙන් ඈත් වුණා. දඩ, ණය, බදු මත දුවන ආර්ථිකයක් ගොඩනැගුණා. ඊට සරිලන ලෙස 78 ව්‍යවස්ථාව සංශෝධනය කළා. ඊට එරෙහිව 80 ජූලි වර්ජනයක් ආවා. රාජ්‍ය සේවකයින් එළියට දැම්මා. අධ්‍යාපනය පෞද්ගලීකරණයට ධවල පත‍්‍රිකාවක් ගෙනාවා.
දැන් මහින්ද රාජපක්‍ෂ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට අවසන් ඇණය ගහන්නයි හදන්නේ. 78 ජේ. ආර්. හදපු පාරේ අවුරුදු 35ක් ඇවිත් අපි ඉන්නේ එවැනි තැනකයි. ඒ අවුරුදු 35 ඇතුලේ ශී‍්‍ර ලංගමය වගේම සියලුම සේවාවන් රජයෙන් ඉවත් කිරීමට නොයෙකුත් දේ කළා. සියල්ල වෙළඳ භාණ්ඩයන් බවට පත් කළා. සියලු බැඳීම් මුදල මත තීරණය කරන දේවල් බවට පත්වුණා. මාක්ස් 1848 කියා තිබුණා ශුද්ධ වූ සියල්ල කෙළෙසෙනවා කියලා. දැන් ආගමත් කෙළෙසිලයි තියෙන්නේ. 78න් පටන් ගත්ත ගමනේ ප‍්‍රතිඵල ලෙස තමයි දැන් රුපියල් 800ක් හොයන්න ළමයින් පොල් ඇහිඳින්නේ. එනිසා මේ ක‍්‍රමය ඇතුළේ රැකගන්න නිදහස් දේවල් ඉතුරුවෙලා නැහැ. ජේ. ආර්.ගේ කාලයේ බල්ලො මරලා හරි සල්ලි හොයපන් කියලා කථාවක් තිබුණා. දැන් මහින්ද රාජපක්‍ෂගේ කාලයේ දරුවන් විකුණලා සල්ලි හොයන තත්වයක් උදාවෙලා තිබෙනවා.
කිසිම බුද්ධිමය ප‍්‍රජාවක් නීතියට අවනත නැති නායකයෙක් තියාගෙන ඉන්නේ නැහැ. මේ ශී‍්‍ර ලංකාවේ පුරවැසියෝ නීතියට, අධිකරණයට අවනත නැති ජනාධිපතිවරයෙක් තියාගෙන ඉන්නවා. අපි ලෝකයේ ඉන්න ම්ලේච්ඡ ජනතාවක් බවට පත්වෙලා. මොනතරම් වැරදි කළත් රටේ ජනාධිපතිවරයාට දඬුවම් කරන්න බැරි ව්‍යවස්ථාවක් හදාගෙන ඉන්නවා. ඒ දේවල් දෙස බලාගෙන පාඩුවේ ඉන්න ජනතාවක් බවට අප පත්වෙලා.
අවුරුදු 30ක යුද්ධයේ ප‍්‍රතිඵලයක් විදියට සිංහල, දෙමළ ජනතාව අතර සතුරුභාවයක් වර්ධනය වෙලා තියෙනවා. බෙදුම්වාදය තවමත් ඉවර කරලා නැහැ. උතුරු නැගෙනහිර වෙන් කරන්න ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වෙනවා. එවැනි වටපිටාවක් තුළ දැන් මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර විරසකයක් ගොඩනගන්න උත්සාහ කරමින් තිබෙනවා. 83 කළු ජූලියෙන් කළේ සිංහල, දෙමළ ජාතීන් අතර අසමගිය වර්ධනය කිරීමයි. එවැනි විරසකභාවයක් සිංහල, මුස්ලිම් ජනතාව අතර ඇතිකොට උතුරු නැගෙනහිර බලය බෙදීමේ කුමන්ත‍්‍රණයේ වාසියක් විදියට පාවිච්චි කරගන්න උත්සාහ දරමින් තිබෙනවා. එම අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත‍්‍රණයට දැන හෝ නොදැන අසුවී සිටින ලෝගු දාගත් එක එක ජාතියේ ඇඳුම් ඇඳගත් පිරිසක් වාර්ගික, ආගමික ආරවුලක් ඇතිකිරීමට උත්සාහ දරමින් තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගියක් ඇතිවෙන්න මතයක් ඇතිකරන්න ඕනෑ අවස්ථාවක ඔවුන් අතර විරසකභාවයක් ගොඩනගන්න උත්සාහ දරනවා. අපේ රටේ භාෂා 3ක්, ආගම් 4ක් තිබෙනවා. ඒවා පදනම් කරගෙන ජාතීන් බෙදා වෙන්කරන්න ඉඩ දෙන්න එපා. ආණ්ඩුවේ අනුග‍්‍රහයක් තිබෙන්නේ එම විරසකභාවයන් වර්ධනය කරන පැත්තටයි. දෙමළ ජනතාව අපේ ගම්වලින් එළවා දමා අපි දිනුවේ නැහැ. ඒ වගේම තමයි මුස්ලිම් ජනතාව අපේ ගම්බිම්වලින් එළවා දමා අපට ජයග‍්‍රහණයක් නැහැ. ආගමික ප‍්‍රශ්න, හලාල් ප‍්‍රශ්න විසඳන්න ආණ්ඩුවට බාර දිය යුතුයි. උද්ඝෝෂණ කරන අය යා යුත්තේ ජනාධිපති මන්දිරයටයි. දෙමළ සමාජය සමඟ ගැටුමක් ඇතිකරගෙන හොඳහැටි පාඩමක් ඉගෙනගත් අපි නැවත මුස්ලිම් සමාජය සමඟ ගැටුම් ඇතිකරගන්න යන්නේ මන්දැයි හිතාගන්න බැහැ. සී.ටී.බී.එකේ සේවකයින්ගේ ප‍්‍රශ්න, අධිකරණයේ ස්වාධීනත්වය, මාධ්‍ය නිදහස වැනි ප‍්‍රශ්න අමතක කිරීම සඳහා මෙවැනි දේවල් යොදාගන්න පුළුවන්.
අධ්‍යාපනයට, අධිකරණයට, මාධ්‍ය නිදහසට ප‍්‍රශ්න තිබෙනවා. ඒකාධිපති පවුල් පාලනයක් යටතේ මාධ්‍යයට කොහෙද නිදහසක්? මේ ලෝකයේ එහෙම රටක් තියෙනවද? රාජපක්‍ෂ පවුල ගැන ඇගයීම් හැර වෙන කිසිවක් ලියන්න අවස්ථාවක් නැහැ. විවේචනය කරන්න බැහැ. රාජපක්‍ෂ පවුලේ දේවල් හැර වෙන ඕනම දෙයක් ගැන කථා කරන්න ඕන තරම් නිදහසක් මාධ්‍යයට තියෙනවා. ඒ නිසා ජනමාධ්‍ය නිදහස ඕනෑ කියලා ජනතාව හිතනවා නම් පළමුව තේරුම ගත යුත්තේ, එය ඒකාධිපති පාලනයක් සමඟ පවතින්නේ නැහැ කියන කාරණය. දෙවනුව එම ඒකාධිපති පාලනය පෙරළා දමා නිදහස ලබාගැනීමට පෙරමුණ ගත යුතු බව කල්පනා කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය, නිදහස් අධ්‍යාපනය අවශ්‍ය නම් එයට තිබෙන්නේද එම පිළිතුරමයි. මහින්ද රාජපක්‍ෂලා රනිල් වික‍්‍රමසිංහලා සමඟ ඉදිරි ගමනක් නැහැ. මේ සමාජ ක‍්‍රමය පවත්වාගෙන යන අයට දොස් පවරා වැඩක් නැහැ. ඔවුන්ගේ වගකීම මේ ක‍්‍රමය පවත්වාගෙන යන එකයි. අප කල්පනා කළ යුත්තේ එම ක‍්‍රමය වෙනස් කොට නව සමාජ ක‍්‍රමයක් ගොඩනැගීම පිළිබඳවයි.
එනිසා දැන් ඊනියා ශක්තිමත් විපක්‍ෂවලින් පළක් නැහැ. ශක්තිමත් විපක්‍ෂවලින් තිබෙන ආණ්ඩුව පෙරළා දමා තව ආණ්ඩුවක් හැදුවට එයින් ජනතාවට වැඩක් වන්නේ නැහැ. සමාජය එක තැනමයි. ශක්තිමත් නැති විපක්‍ෂයක් දැන් පාර්ලිමේන්තුව ඇතුළේ තියෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්‍ෂයට කරන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුව තුළ සමාජ ක‍්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් අරගලයක් නැහැ. මන්තී‍්‍රවරු, ඇමතිවරු වෙළඳ භාණ්ඩ බවට පත්වුණු පාර්ලිමේන්තුවකුයි දැන් තියෙන්නේ. සමාජ ක‍්‍රමය වෙනස්කරන අරගලය තිබෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටතයි. ඒ වගේම වෙන වෙනම කරන හුදකලා සටන්වලින් ජයග‍්‍රහණය ලබන්න බැහැ. මහින්දගේ කෝපි කෝප්පය බොන, බෙදුම්වාදය කරපින්නා ගත් අධිරාජ්‍යවාදයට උඩගෙඩි දෙන පොදු විපක්‍ෂවලින් ඵලක් වන්නේ නැහැ.
අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාධිපති පවුල් පාලනයට එරෙහි අයිතීන් දිනාගන්න ශක්තිමත් පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමට වැඩ පිළිවෙලක් නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය පමණක් නොව සියලු ජනතා බලවේග එක මඟකට ගන්නා අරගලයක් සංවිධානය කළ යුතුයි. ඊට යෝජනා ඉදිරිපත් කළ යුතුයි. සියලු කැපකිරීම් කළ යුතුයි. හුදු වැටුප් අරගලවලට පමණක් සීමා නොවී සැබෑ නව සමාජ ක‍්‍රමයක් වෙනුවෙන් අරගල කරන ආරම්භයක් තැබිය යුතුයි. අප ඉතාම ඉක්මණින් විවිධ සුවඳ හමන මල්වලින් එකම මාලයක් ගැට ගැසීමේ උත්සාහයක නිරත වෙලා ඉන්නවා. වෘත්තීය සමිති ව්‍යාපාරයට පමණක් නොව සියලුම දෙනාට තමන්ගේ අයිතීන් දිනාගැනීමේ පොදු ජනතා ව්‍යාපරයක් ගොඩනැගීමේ වගකීම අප හමුවේ තිබෙනවා."
.jpg)
0 comments for "78 ජේ. ආර්. හදපු පාරේ අවුරුදු 35ක් ඇවිත් අපි ඉන්න තැන."
Leave a reply