ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මොහොමඞ් සබ්ප‍්‍රාස් තලංගම නාභිත හිමි වුණ කතාව




බෞද්ධ ඉස්ලාම් ආගම් භේද නැති ප‍්‍රශ්න ගැන වද වෙන මේ කාලයේ එකම රටක් තුළ සිංහල මුස්ලිම් ජාතීන් අතර පවතින සහසම්බන්ධය ගැන නැවත සිතන්නට හැකි සිදුවීම් බොහෝය.

මුස්ලිම් ජාතිකයෙකුව උපත ලබා බෞද්ධාගම වැළඳගෙන සංඝ ශාසනයට ඇතුළත්වූවන් පවා අප අතර සිටී.මේ එවැන්නෙකු පිළිබඳව කියැවෙන කතාවකි. මේ ගැන කියන්නට ආබ්දීන් මහත්මියගෙන් මුල පිරිය යුතුය.

අසූ හතර හැවිරිදි ආබ්දින් මහත්මියට දරුවන් දොළොස් දෙනෙකි. පුතුන් නව දෙනෙක් සහ දියණියන් තිදෙනෙකි. ඇගේ ස්වාමිපුරුෂයා මේ වන විට ජීවතුන් අතර නැත. ඇගේ දරුවන් සියලූ දෙනාම විවාහකය. බුදු සසුනට ආවේ ඇගේ අට වැනි පුතුගේ පස්වැනි දරුවාය.
‘මගේ දරුවන් ගෙන් එක්කෙනෙක් කතෝලික ආගමේ කෙනෙක්ව බැඳලා ඉන්නවා. අටවෙනි පුතා ඒ කියන්නේ මොහොමඞ් ෂාරුක් ආබ්දින් විවාහ වුණේ බෞද්ධ ගැහැනු ළමයෙක් සමග. මුලින් අකමැති වුණත් පුතාගේ කැමැත්ත ගැන හිතලා විවාහයට ඉඩ දුන්නා.විවාහයෙන් පස්සේ ඒ දුව අපේ ආගමට ආවා. ඔවුන්ට දරුවෝ හත් දෙනෙක් ඉන්නවා. මෙයාලට ඉන්න ගෙයක් නෑ. එයාලා ඉන්නේ මං ඉන්න ගෙදර. මමත් ඉන්නේ කුලියට.
අපි මුස්ලිම් වුණාට හැමදාම හිටියේ සිංහල අයත් එක්ක. මගේ මුනුපුරා කුඩා කාලයේ ඉඳලම පන්සල් යන්න කැමතියි. ඒක අපට නතර කරන්න බැරි වුණා. එයා කාලයක් තිස්සේ මහණ වෙන්න අහනවා. දරුවගේ තාත්තා නම් මුකුත් කිව්වේ නැහැ. ඒත් දරුවගේ අම්මා කැමති වුණා. මම කිව්වට මුනුපුරාගේ හිත වෙනස් වුණේ නැහැ. අන්තිමට අපි හිත හදාගත්තා හැම දේටම වඩා දරුවාගේ ආශාව ඉටුකරන එක හොඳයි කියලා. මුලින් මුලින් නෑයෝ කැමති වුණේ නෑ දැන්නම් කවුරුත් අකමැත්තක් නෑ.”’
තලංගම නාභිත හිමි නමින් ජනවාරි 25 දා පැවිදි දිවියට ඇතුළත් වූ මොහොමඞ් සබ්ප‍්‍රාස්ගේ මිත්තණිය එසේ පවසන්නීය. නාභිත ස්වාමීන් වහන්සේගේ මව පියා හමුවීමට ගිය ද ඒ ගමනේදී අපට හමුවූයේ උන්වහන්සේගේ පියා හා මිත්තණිය පමණි.

‘මම ඉගෙන ගත්තේ කොස්වත්තේ ජයවර්ධනපුර පාසලේ. අපේ පවුලේ ඔක්කෝම හත් දෙනයි. අක්කා විවාහ වෙලා ඉන්නේ. අම්මා ගෙදර. තාත්තා රැුකියාව හැටියට කරන්නේ කුලී වැඩ. මට කුඩා කාලේ ඉඳලම මහණ වෙන්න හිත තිබුණා. අම්මා ඇතුළු ගෙදර අය හැමෝම මම පැවිදි වෙන දවසේ තලංගම කොස්වත්තේ ශ‍්‍රී ලූම්බිණි විවේක සෙනසුනට ආවා. නායක හාමුදුරුවෝ කරුණාවෙන් ආදරෙන් මාව බාරගත්තා.”’ නාභිත හිමියන් පවසන්නේය.

බුදුරජාණන් වහන්සේ යම් පුද්ගලයකු බුදු සසුනට ඇතුළු කර ගැනීමේ දී ජාතිය කුලය ආගම ගැන බැලූවේ නැහැ. ඉහළ බ‍්‍රාහ්මණ කුලයේ අය වගේ ම සැඩොල් කුලයේ අය ද පැවිදි කළා. අද අපට හොඳ සංඝ පරම්පරාවක් අවශ්‍යයි. මේ දරුවා අම්මත් සමග ඇවිත් කිව්වා එයාට මහණ වෙන්න අවශ්‍යයි කියලා. මම කිව්වා තාත්තවත් එක්කගෙන එන්න කියලා. දරුවා පැවිදි වෙන දවසේ මේ තාත්තා ආවේ නැහැ. නමුත් දැන් සතියට දවසක් දෙකක් ඒ තාත්තා අම්මා ඇවිල්ලා පොඩි හාමුදුරුවන්ව බලලා යනවා.”
තලංගම කොස්වත්තේ ශ‍්‍රී ලූම්බිණි විවේක සෙනසුනේ තලංගම ශ‍්‍රී සද්ධාමංගල නායක ස්වාමින්වහන්සේ පවසන්නේය.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණි පැවිදි දිවියට ඇතුළත් වූ භික්ෂුන් වහන්සේලා අතර සත් හැවිරිදි පොඩි හාමුදුරු නමක් ද වූයේය.
මේ පොඩි හාමුදුරුවොත් පැවිදි වීමට කලින් මුස්ලිම් ආගමේ දරුවෙක්”
කුඩාවියේ සිටින සාමණේරයන් වහන්සේ හඬ අවදි කළේ සෙමෙනි. චීවර දරාගෙන සිටිය ද ද`ගකාර වයස ස`ගවාලිය නොහැකි තරම්ය.
‘අපි හිටියේ තලංගමමයි. අපේ තාත්තා බීලා ඇවිල්ලා හැමදාම අම්මට ගහනවා. අම්මා අඬනවා. ඒ වෙලාවට මට අම්මා ගැන දුක හිතෙනවා. නංගිත් අඬනවා. අම්මා මාව ගෙනැල්ලා නායක හාමුදුරුවන්ට බාර දුන්නා. මහණ කරගන්න කියලා. මම මහණ වෙන්න කැමති වුණා. ගෙදර ජීවිතේ දුකයි. අම්මා ගුටි කනවා මට බලන්න බැහැ. නායක හාමුදුරුවෝ අපට හරි ආදරෙයි. ඒ නිසා මං පන්සලට කැමතියි.”’
සසර ගමන කෙටිකර ගැනීමට බණ භාවනා කිරීමට පැවිදි දිවියට ඇතුළත් වූ සද්ධාමංගල ස්වාමින් වහන්සේ පිය සෙනෙහසින් යුතුව සාමණේර හිමිවරු රැුක බලා ගන්නේය. ධර්මය උගන්වන්නේ ය.
‘මෙතන මේ පැවිදි වෙලා ඉන්න කුඩා හිමිවරු එක්කෙනෙකුවත් මම අරගෙන ආව අය නොවෙයි. මෑතකදී පැවිදි වූ නාභිත හිමියන් මා ළ`ගට ගෙන ආවේ මගේ හිතවත් දායකයෙක්. දරුවගේ මව මේ ස්ථානයට ආවා. ඒ අයගේ කැමැත්ත මතයි පැවිදි කළේ. කෙසේ වෙතත් අද අපේ ජාතියට අවශ්‍ය සමගියයි එකමුතුකමයි. මේ දරුවා බුද්ධ ශාසනයට ඇතුළු වුණේ බුදුදහම ගැන පැහැදීමෙන් හා ඒ පිළිබඳව ඇති වූ ඇල්ම නිසයි. උන්වහන්සේට දැන් හොඳින් පිරිත් සජ්ජායනය කරන්නටත් පුළුවන්.”’
නව නුවර පාරේ තලංගම උතුර ශ‍්‍රී ලූම්බිණි විවේක සේනාසනය තවමත් ගොඩනැගෙමින් පවතී. එහි භෞතික සම්පත්වලට වඩා අගය කළ යුත්තේ අනාගතයට බිහිවන ස`ග පරපුරයි. තවමත් ද`ගකාර වයසේ පසුවන, එහෙත් හැඳ සිටින චීවරය සීරුවට ප‍්‍රවේශම් කරමින් සන්සුන් ගමනින් වඩින සාමණේර හිමිවරුන් අතරින් එක් අයකු හඬ නගා සූත‍්‍ර කවි ගායනා කරන්නේය. එය ජනාකීර්ණ නගරයට යාබදව පිහිටි සේනාසන භූමියේ ඉදිවෙමින් පවතින සිමෙන්ති ගොඩනැගිලි අතර දෝංකාර දී ඇසෙන්නේය.

ඒ හඬ ඇසෙන්නේ දැනුම් තේරුම් ඇති දා සිට පැවිදි වීමම අරමුණු කරගත් තම ප‍්‍රාර්ථනාව ඉටුවන තුරු වතුසුද්ද මල් ගසේ පඬුරු ගැට ගැසු පුංචි සාමණේර හිමියන්ගේය.
බුද්ධ චීවරයට කිසිදු බේදයක් නැත. මේ කුඩා හිමිවරු අතර ද කිසිදු බේදයක් නැත. මුස්ලිම් සිංහල දෙමළ කියා හෝ කුල, ආගම් භේද නැති මේ සාමණේර හිමිවරුන් දිනෙක භික්ෂු පරම්පරාවටම ආඩම්බරයක් වන්නේ නම් එය අගය කළ යුත්තකි.

සටහන - ඉනෝකා සමරවික‍්‍රම
ඡුායාරූප - විමල් කරුණාතිලක /සමන් ශ‍්‍රී වෙදගේ

Posted in: ,

0 comments for "මොහොමඞ් සබ්ප‍්‍රාස් තලංගම නාභිත හිමි වුණ කතාව"

Leave a reply